kuliyapitiya-incident

පාසල් සිසුන්ට මත්ගුලි අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව කුලියාපිටිය සිංහල බෙහෙත් අලෙවිසැලක් උපාය දූතයෙකු මගින් වටලා මවක සහ පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය සුරාබදු නිලධාරීහු පවසති.
එලෙසින් අත්අඩංගුවට ගැනුනේ කුලියාපිටිය නගරයේ සිංහල බෙහෙත් අලෙවිය සඳහා නමක් දිනා සිටි ආයතනයක කළමණාකාරීත්වයයි.



ගුරු භවතුන් පාසලේ ඉගැන්වීම් කටයුතු සිදුකරන අවස්ථාවන්හිදී ඇතැම් සිසුන් වෙනමම කල්පනාවල සිටි අයුරු නිරීක්‍ෂණය වීමත් ඒ අයගෙන් උගත් විෂය කරුණු පිළිබඳ විමසීමේදී හාස්‍යෝත්පාදක පිළිතුරු ලැබීමේදී ඒ පිළිබඳව සොයා බලා ඇත. එහිදී මෙම ගුලි වර්ගය භාවිත කර ඇති බවට තොරතුරු ලද බවත් ගුරු භවතුන් පැවසූ කාරණා පිළිබඳ අධ්‍යයනය කර විදුහල්පතිවරුන් හා ගුරු භවතුන් සමග ඇතැම් පාසල් පරිශ්‍ර නිරීක්ෂණය කිරීමේදී පාසලේ කසළ බහාලුම්වල මත්ගුලි හිස් ආවරණ සැලකිය යුතු ප්‍රමාණයක් සුරාබදු නිලධාරින්ට දැකගැනීමට හැකිවූ බවද සුරාබදු නිලධාරීහු පවසති.



කාර්මික විද්‍යාල සිසුන්, උපකාරක පන්ති සිසුන් සෘජුවම ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇති බව නිරීක්‍ෂණය වූ බවත් උපාය දූතයෙකු මගින් එසේ මත්ගුලි මිලදීගැනීමට සලස්වා වැටලීම සිදුකළ බව නිලධාරීහු පවසති.

වෙළෙඳසල පරීක්‍ෂා කිරීමේදී සූක්ෂම ලෙසින් සඟවා තැබූ මත්ගුලි විශාල ප්‍රමාණයේ පොහොර මලු 3ක පමණ තිබී සොයාගන්නටද නිලධාරීන්ට හැකිව ඇති අතර එම මත් ගුලි හා සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න මහතා ඇතුළු පිරිසක් උපාය දූතයන් මාර්ගයෙන් අදාළ වැටලීම සිදුකළහ.
  කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර