kurunegala-grade5-exam-incident

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම දරුවන් සිටින්නේ ඉමහත් ප්‍රිතියකිනි. මේ නිසාම දෙමාපියන්ගේ මෙන්ම ඥාතී හිත මිතුරන්ගේ ද දැඩි අවධානය නිතැතින්ම ඔවුන් කෙරෙහි යොමු වෙද්දී එම පවුල්වල විභාගය අසමත් දරුවන්ට මඳකට හෝ පවුලෙන් කොන්වීමට සිදු වීම කවුරුත් එතරම් නොසිතන කරුණකි. ඊට කදිම නිදසුනක් කුරුණෑගල පොලිසියෙන් පසුගියදා වාර්තා වූයේය.

හලාවත මාදම්පේ පදිංචි දාහතර හැවිරිදි පිරිමි දරුවකු සිය මව විදේශ ගත වීම හේතුවෙන් හැදි වැඩී තිබුණේ සීයාගේ රැකවරණය මැද්දේ ය. එම දරුවාට බාල සොහොයුරෙකු සිටින අතර ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ඉහළ ලකුණු ලබා සමත්වී තිබුණේ ය.



මෙම පවුලේ වැඩිමහල් දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවී බාල සොයුරා ශිෂ්‍යත්වයෙන් සමත් වීම සම්බන්ධයෙන් ඔහු පසුවූයේ දැඩි මානසික කම්පනයකිනි. එසේ සිත කලකිරුණු ඔහු සිතන්නේ තමාට කවුරුත් ආදරය නැති බවයි. මේ නිසා දරුවා තීරණය කරන්නේ සිය නිවසින් පැනයෑමට යි.

පසුව ඔහු අරමුණකින් තොරව හලාවත බස් නැවතුම්පොළට පැමිණ ඇති අතර එහි නවතා තිබූ බසයක නැගී කුරුණෑගල නගරයට පැමිණ ඇත්තේය. කුරුණෑගල නගරයේ අතරමංව ඇවිදිමින් සිටිනු දුටු පුද්ගලයකු ඔහු ගැන සැක සිතී කතාබස් කර අදාළ තොරතුරු දැන ගැනීමෙන් පසුව ඔහු කැඳවාගෙන ගොස් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත භාරදී තිබුණේය.



පොලිසිය සඳහන් කරන්නේ මෙම දරුවා ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම සම්බන්ධයෙන් කලකිරී ඇති බවත් සිය සොයුරා විභාගයෙන් සමත් වීම ඉතා ඉහළින් අගය කිරීම දරා ගත නොහැකි වූ බැවින් නිවෙසින් පැන ආ බවත්ය.

ඒ අනුව දරුවාගෙන් ප්‍රශ්න කර තොරතුරු සටහන් කරගත් පොලිසිය සිසුවා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත දැනුම්දී ඉදිරි පියවර ගන්නා තෙක් කුරුණෑගල පිහිටි ළමා නිවාසයක් වෙත රැකවරණය සඳහා යොමු කරන ලෙස අධිකරණය පොලිසියට නියම කර ඇත.

ජයරත්න පුෂ්පකුමාර - කුරුණෑගල