lalith-kothalawala-death-suspitious

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට සතියක දෙකක කාලයක් තුළ දිනකට කිහිප වතාවක් නිවිති යෙදූ සුප් සහ තැඹිලි වතුර බීමට දුන් බව තමාට දැනගන්නට ලැබුණු බැවින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඉපදී ඇතැයි ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ඇත්මඩලගේ ජූඞ් මාකෝ පෙරේරා මහතා සාක්ෂි ලබාදෙමින් ඊයේ (03) අධිකරණයේ දී පැවසීය.



ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඉදිරියේ පැවැත් වූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.



එහිදී සාක්ෂි දුන් පළමු සාක්ෂිකාර පෙරේරා මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ කොතලාවල මහතාගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙනෙන පරිදි නිතීඥවරුන් කණ්ඩායමක් ඇතුළු කිහිප දෙනකු සැලසුම් සහගතව කටයුතු කර ඇති බවට තමා සතුව වාර්තා ඇති බවය.

නිතීඥ නිශ්මි ගොඩැල්ලවත්ත, නීතිඥ සමන් ලියනගේ, නිතීඥ දිනේෂ් ජයවීර, නිතීඥ එස්. පී. එස්. රසිකා, රහස් පොලිසියේ හිටපු නිලධාරියකු වන ලලිත් අමරසිංහ, පොලිසියේ විශ්‍රාමික ප්‍රියංජන වන්නිආරච්චි, වත්මන් පොලිස්පතිගේ මස්සිනා කෙනකු යැයි කියාගන්නා මහින්ද උපසේන, නිතීඥ සමන් ලියනගේ යන අයගේ සහෝදරිය වන නිරෝශා ප්‍රියදර්ශනි සහ තවත් කිහිප දෙනකු සිසිලියා කොතලාවල මහත්මියගේ දැඩි විරෝධතාව මත ඔවුන් පදිංචි නිවෙසින් කොතලාවල මහතා කොළඹ 7 ෆොන්සේකා මාවතේ පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඇති බව ද සාක්ෂිකරු සඳහන් කළේය.



එම නිවසේ දී කොතලාවල මහතා මුළා කරමින් සහ බලහත්කාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ මෙම පිරිස විසින් අනීතික ලෙස පවරා ගනු ලැබූ බවත්, මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් සාක්ෂිකරු අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

ඉහත කී පිරිස එක්ව කටයුතු කරමින් සැලසුම් සහගතව ස්වාභාවික මරණයක් ලෙසින් පෙනෙන පරිදි වයස්ගත ලලිත් කොතලාවල මහතාට ආහාර පාන ලබා දී රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති බවත් රෝහලේ දී කිසිවකුට හෝ ඔහු බැලීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොතිබුණු අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවත් සාක්ෂිකරු අධිකරණයට සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.



අගතියට පත් පවුලේ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හෆීල් ෆාරිස් මහතා සඳහන් කර සිටියේ මරණකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව විවෘත තීන්දුවක් ලෙස ලබා දී තිබියදීත් කොතලාවල මහතා මරණයට පත්වී ඇත්තේ නිව්මෝනියා තත්වයකින් බවට බම්බලපිටිය පොලිසිය මාධ්‍ය මගින් කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසටය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම මරණ පරීක්ෂණ ඉතිරි සාක්ෂි ලබා ගැනීම සඳහා ලබන 6 වැනි දා තෙක් නඩුව කල් තැබීය.

-නිමන්ති රණසිංහ