lalith-kothalawala-death-suspitious

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායම කොතලාවල මහතාගේ ඥාතීන් සහ තමා, ඔවුන්ගේ නිල කාමරයට ගෙන්වා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දෙන බව සහ ඔහුගේ ශරීරයේ යම් යම් කොටස් රස පරීක්ෂකවරයාට යැවීමට ගත් බව සඳහන් කළේ යැයි බම්බලපිටිය පොලීසියේ විමර්ශන නිලධාරියා සාක්ෂි දෙමින් අධිකරණයේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.



ලලිත් කොතලාවල මහතා මරණයට පත්වූයේ ඉකුත් ඔක්තෝබර් මස 21 වැනිදා අලුයම් කාලයේදී වුවද එදින සවස් කාලය වන තෙක්ම ඒ මහතාගේ දේහය බාරගැනීම සඳහා කිසිවකු හෝ ඉදිරිපත් නොවුණ බැවින් එදින මරණ පරීක්ෂණය කිරීමට නොහැකි වූ බව බම්බලපිටිය පොලීසියේ විමර්ශන නිලධාරී පොලිස් සැරයන් (8764) කේ. ඩබ්ලිව්. විමලරත්න මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් වන සමිත රාජපක්ෂ, රාජගුරු සහ හේවගේ යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරික්ෂණය කර විවෘත තීන්දුවක් සහිත එම වාර්තාව දුන් බවද සාක්ෂිකරු සිය සාක්ෂියෙන් ප්‍රකාශ කළේය.



පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයෙන් තමා කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීමේ කටයුතු සඳහා යොමු වූ බවත්, එහිදී තමා ලලිත් කොතලාවල මහතාගේ භාර්යාව වූ සිසිලියා කොතලාවල මහත්මිය හමුවීමට ගියත් ඇයගේ ආරක්ෂක නිලධාරින් ඒ සඳහා අවස්ථාවක් සලසා නොදී ඇගේ දුරකතන අංකය දුන් බවත් සාක්ෂිකරු පැවසීය.

ඒ අනුව තමාගේ පෞද්ගලික ජංගම දුරකතනයෙන් කොතලාවල මහත්මියට කතාකර මරණය සම්බන්ධයෙන් දැනුම් දුන් අතර, “මේ පිළිබඳව මා හට වගකීමක් ලබාගත නොහැකියි. මේ සම්බන්ධයෙන් මාගේ නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දීමක් කරන්නම්. ඉතා දීර්ඝ කාලයක් කොතලාවල මහත්මයා පදිංචිව සිටියේ අංක 13 ද ෆොන්සේකා පාර බම්බලපිටිය ලිපිනයේ. එම ස්ථානයේ සිටින අයගෙන් මේ මරණය සම්බන්ධයෙන් විමසා බලන්න" යැයි කොතලාවල මහත්මිය තමාට දැනුම් දුන් බව සාක්ෂිකරු සිය සාක්ෂිය දෙමින් කීය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාර පොලිස් නිලධාරියා මෙසේද පැවසීය.

“ස්වාමිනී, පසුව මම කොතලාවල මහත්මිය සඳහන් කළ ලිපිනයට ගියා. එහි සිටිය නීතිඥ දිනේෂ් ජයවීර සහ ප්‍රියංගනී ප්‍රියදර්ශනී යන අයවලුන්ට මේ පිළිබඳව දැනුම් දී ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඔවුන් සිය ප්‍රකාශ වලින් සඳහන් කළා මරණකරුගේ දේහය ඔහුගේ ඥාතීන්ට භාරදීමට කටයුතු කරනවා කියලා. එදින සවස් කාලය වන තුරුම කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු හෝ ඉදිරිපත් වුණේ නැති නිසා එදින මරණ පරීක්ෂණය කිරීමට නොහැකි වුණා. එදින රාත්‍රී පැය 19.30ට පමණ සිසිලියා කොතලාවල මහත්මිය නම් කරන ලද නීතීඥ මහත්මයකු විසින් මාගේ ජංගම දුරකතන අංකයට ඇමතුමක් අරගෙන කියා සිටියා පසුදින උදේ මෙම මරණය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසට ඒ අනුව පසුවදා එනම් ඉකුත් ඔක්තෝබර් මස 22 වැනිදා නිතීඥවරුන් සමග ශෙරීන් විජේරත්න මහත්මිය පොලිස් ස්ථානයට පැමිණියා. කොතලාවල මහතාගේ මරණය සැක සහිත බව කියමින් ඇය පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විනිසුරුතුමා නාරාහේන්පිට රෝහලට ගොස් දේහය පරීක්ෂා කළා. පසුව ඥාතීන් දේහය හදුනා ගැනීමෙන් පසු එය ඥාතීන්ට භාරදී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කළා. ඒ වෙද්දි වෙලාව පැය 16.30 පමණ වෙලා. ඒ වෙලාවේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් හිටියේ නෑ. ඒ නිසා ඔක්තෝබර් මස 23 වැනිදා පෙරවරුවේ තමයි පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළේ".

අධිකරණය : පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න වෙලාවක් තියෙනවාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමිනී. උදේ හතේ සිට සවස තුන වෙනකල් වේලාව වෙන්කර තිබෙන්නේ. ඉන්පසු ගේන ඒවා පසුවදාට කල්තියනවා.

අධිකරණය : පැය විසි හතරේම අධිකරණ වෛද්‍යනිලධාරියෙක් රාජකාරි කරන්නේ නැද්ද?

සාක්ෂිකරු : ඇතැම් දිනවල ඉන්නවා. එදින ඉරිදා දිනයක් නිසා නිලධාරීන් හිටියේ නෑ.



අධිකරණය : ඉරිදා දිනවල අධිකරණ වෛද්‍ය නිලධාරින් රාජකාරි කරන්නේ නැද්ද?

සාක්ෂිකරු : සිදුකරනවා ස්වාමිනී.

මරණ පරික්ෂණ සාක්ෂි දෙමින් එම්. සිසිර කුමාර සමරකෝන් (61) මහතා මෙසේ පැවසීය.

“ස්වාමිනී, මම වසර 35ක් ලලිත් කොතලාවල මහතා ළඟ සේවය කළා. මාව එතැනින් අයින් කළේ නිරෝෂා මිස්. සර්ට මාසෙකට රුපියල් ලක්ෂ 60ක් 70 ක් විතර ප්‍රමාණයක් මුදල් ලැබෙනවා. ඒ සල්ලි කවුරු හරි ගත්තාම සර් මට ඒක කියනවා. ඒ නිසාම තමයි නිරෝෂා මිස් මාව එතනින් අයින් කළේ."

සාක්ෂිකාර මහින්ද උපසේන ගමගේ (68) මහතා සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

“ස්වාමිනී, ඉකුත් ඔක්තෝබර් මස 18 වැනිදා තමයි කොතලාවල මහතා රෝහල් ගත කළේ. දිනේෂ් මහතා සමග මමත් රෝහලට ගියා. මා කොතලාවල මහතාගේ ආයතනයට සම්බන්ධ වෙලා වසර 35ක් සේවය කළා. පසුව 2021 වසරේ මම නැවත සම්බන්ධ වුණා. 2008 වසරේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටීමත් සමග කොතලාවල මහතාට නඩු පැවරෙන්න ගත්තා. මා පරිපාලන උපදේශක වශයෙන් තමයි කටයුතු කළේ. ඔහුට මේ වන විටත් නඩු 45ක් පමණ තියෙනවා විවිධ අධිකරණවල. ඒ වගේම කම්කරු උසාවියේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ. 18 වැනිදා හවස කොතලාවල මහත්තයාගේ කාර්යාලයේ හිටිය නීතීඥ මහතා මට කතා කරලා කිව්වා අපේ සභාපතිතුමාට අසනීපයි ඉස්පිරිතාලේ අරන් යන්න ඕන කියලා කියනවා කියලා. ඊට පස්සේ මම එතුමාගේ කාර්යාල කාමරයට ගියා. කොතලාවල මහත්තයා ඇවිදගෙනම ආවා. එහෙම්මම එතුමාගේ වාහනයට නැගිලා අපි රෝහලට ගියා. දොස්තර උපාලි වේරගම මහතාට දිනේෂ් මහතා කතා කළාම සවස 4ට එන්න කියලා තිබුණා. නමුත් කොතලාවල මහත්තයා “මට දැන්ම යන්න ඕන කැස්සක් වගේ හැදුණා. ඒ නිසා දැම්මම යන්න ඕන" කිව්වා.

ඒ නිසා අපි ලංකා හොස්පිට්ල් එකට යන්නේ නැතුව ආසිරි රෝහලට ගියා. ටික වෙලාවකට පස්සේ දොස්තර මහත්තයා ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා කිව්වා. “මිස්ට කොතලාවල මුකුත් ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් පරීක්ෂණ ටිකක් කරන්න දවසක් ඇඩ්මිට් වෙන්න" කියලා. පස්සේ දිනේෂ් මහත්තයා එම රෝහලේ උඩට ගිහින් බලලා ඇවිල්ලා ඒ රෝහල කොතලාවල මහත්තයාට සුදුසු නැහැ කියලා ලංකා හොස්පිට්ල් එකට යමු කිව්වා. එතන ඉඳලා දවස් තුනක් කොතලාවල මහතා ප්‍රතිකාර ගත්තා. මම දවසින් වැඩි හරියක් හිටියේ රෝහලේ. පසුව 21 වැනිදා පාන්දර දිනේෂ් මහතා මට කතා කරලා කිව්වා එතුමා මියගියා කියලා. මම අවසන් වරට එනම් 20 වැනිදා සවස පහයි තිහට විතර සර් ළඟට ගිහින් කිව්වා සර්ට ඩිස්චාර්ච් වෙලා යන්න පුළුවන් වෙයි කියලා. අන්තිම වෙනකල්ම සර් හිටියේ සතුටින්."

මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් උක්වත්තගේ දෝන රම්‍යා උක්වත්ත (56) මහත්මිය මෙසේ පැවසුවාය.

“ස්වාමීනී, මා විශ්‍රාමික පොලිස් නිලධාරිනියක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 28ක සේවා කාලයකින් පසු මා ලලිත් කොතලාවල මහතාගේ ආරාධනයෙන් එතුමාගේ කාර්යාලයේ සේවයට ගියා. මා සේවය කළේ ලලිත් අමරසිංහ කියන සී අයි ඩී එකේ හිටපු සැරයන්වරයකු යටතේයි. මා වසර හතරක් විතර එතන සේවය කළා. කොතලාවල මහතාගේ ‘සිර මිතුරෝ' සංවිධානයේ වැඩකටයුතු තමයි මම ගොඩාක් කළේ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසය තෙක් මම සර්ට කෑම ගෙනාවා. පස්සේ නිරෝෂා ප්‍රියදර්ශනී තමයි සර්ට කෑම දුන්නේ. එයාගෙන් අහන්නේ නැතුව කාටවත් කෑම දෙන්න දුන්නේ නැහැ. උදේ වරුවට කොමඩු, තැඹිලි, ගස්ලබු වගේ ඒවා තමයි දුන්නේ. මරණය වෙච්චි වෙලාවේ මම සේනාධීරට කතා කරලා ඒ ගැන ඇහුවා. ඒ වෙද්දි එයා හිටියේලංකා හොස්පිට්ල් එකේ.”



සාක්ෂිකාර සුනේත්‍රා කුමාරි රණසිංහ (58) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළාය.

මම අවුරුදු 22ක් සර් ළඟ වැඩ කළා. සර් මට ගොඩක් උදවු කළා. මගේ දියණියට ඉගෙන ගන්න උදවු කළේ සර්. ඊට පස්සේ දියණියට වයස අවුරුදු 18 වුණාම ඇයට කඩයක් දාලා දුන්නා. පසුව මාවත් මගේ දියණියත් 2022 ඔක්තෝබර් මස 13 වැනිදා ඒ කඩෙන් එළවලා දැම්මේ නිරෝෂා ප්‍රියදර්ශනී කියන අය. මම සර්ගේ සියලුම දේවල් දන්නවා. මේ අය සර්ව කාමරයක දාලා හිරකරගෙන හිටියා. මම සර්ගෙ සියලුම දේවල් දන්න නිසා තමයි මාව එළෙව්වේ. සර්ට කෑම බිම දුන්නේ සර්ගේ හැම දේම කළේ නිරෝෂයි සමන් ලියනගේ යන අයයි."

ලලිත් කොතලාවල මහතා රෝහලට රැගෙන ගිය නිතීඥ දිනේෂ සදරුවන් ජයවීර (39) මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

“මම 2015 වසරේදී තමයි ලලිත් කොතලාවල මහතා සමග සම්බන්ධ වුණේ. මහේස්ත්‍රාත් අධිකරණවල සහකම්කරු උසාවිවල මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ ඔහු සම්බන්ධයෙන් තියෙන විමර්ශනවලට පෙනී සිටීම තමයි මගේ රාජකාරිය. ඒ සඳහා ඔහු මට වේතනයක් ගෙව්වා. 2021 වසරේ අප්‍රේල් මාසය වෙනකල් ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කළේ ලලිත් අමරසිංහ කියන අයයි. ඔහු ඉවත්ව ගියාට පස්සේ කොතලාවල මහත්තයා මට කතා කරල කිව්වා ඔහුගේ වෛද්‍යවරුන් සමග ඔහුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. ඔහු පරික්ෂා කළේ වෛද්‍ය සාලිය පතිරණ, වෛද්‍ය මුබාරක්, වෛද්‍ය ජයන්ත, උපාලි වේරගම සහ වෛද්‍ය ජයසේන යන මහත්වරුන්. 18 වැනිදා කොතලාවල මහත්තයා මට කතා කරලා කිව්වා ඔහුට කැස්සක් තියෙනවා ඩොක්ටර්ට කියන්න කියලා. මම ඒ වෙලාවේම ඩොක්ටර් වේරගම මහතාට කතා කළා. එතකොට ඩොක්ටර් කිව්වා සවස 6ට ලංකා රෝහලට එන්න කියලා. එතකොට කොතලාවල මහත්තයා කිව්වා ගොඩක් රෑ වෙලා යන්න බෑ ඩොක්ටර්ට කතා කරලා ඉන්න තැන වෙලාවක් ගන්න කියලා. ඒ අනුව තමයි මම ආසිරි රෝහලට ගියේ. පසුව එතැනදි කිව්වා නේවාසිකව ප්‍රතිකාර ගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ආපහු ලංකා හොස්පිට්ල් එකට ගියේ. ඔහු මිය යන තෙක්ම හිටියේ ඒ රෝහලේ. එතුමා මියගිය බව මා කොතලාවල මහත්මියට සහ ශෙරීන් මහත්මියට දුරකතනයෙන් දැනුම් දුන්නා. කොතලාවල මහතා හෘදය වස්තුවේ යන්ත්‍රයක් සවිකර තිබූ බව මා දැන සිටියා. මේක සවි කළේ 2018 වසරේ වගේ තමයි මට මතක"

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥවරුන් හෝ පොලීසිය සාක්ෂිකරුවන්ට යම්කිසි බලපෑමක් සිදුකළහොත් ඒ පිළිබඳව අධිකරණයට මැදිහත්වීමට සිදුවන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කරමින් පශ්චාත් මරණ පරීක්ෂණයේ නියෝගය ලබන 14 වැනිදාට දෙන බවට දැනුම් දුන්නේය.

- නිමන්ති රණසිංහ