ltte-free-court


මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර හිටපු පාකිස්තානු මහ කොමසාරිස්වරයා ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ වසර 15ක කාලයක් පුරා රිමාන්ඞ් බාරයේ රඳවා සිටි කොටි සාමාජිකයන් බව කියන තිදෙනකු කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඊයේ (10) නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබු චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවනට එරෙහිව නඟා තිබු සියලුම චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළේය.මෙලෙස නිදහස් කරන ලද්දේ යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා හෙවත් කරන්, කනගර නම් ආදිත්‍යන් හෙවත් ගිරි නමැති එල් ටී ටී ඊ සාමාජිකයන් බව කියන තිදෙනෙකි”



2006 අගෝස්තු මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොල්ලුපිටියේ දී හිටපු පාකිස්තානු මහ කොමසාරිස් බසීර් අලී මොහොමඩ් මහතා ඝාතනය කිරීම සඳහා ඔහු ගමන් ගත් මෝටර් රථයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරිම සහ ඒ අනුව එම ප්‍රහාරය එල්ල කිරීම ඇතුළු චෝදනා 25ක් යටතේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගා තිබිණි.

හිටපු පාකිස්තානු මහ කොමසාරිස් බසීර් අලී මොහොමඩ් මහතා ඝාතනය කිරීම සඳහා ස්වයං ඝාතක කොටි බෝම්බකාරියක විසින් බසීර් අලී මොහොමඞ් මහතා ගමන් ගත් මෝටර් රථයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේදී ඔහුට ආරක්‍ෂාව සලසමින් ගමන් කළ හමුදා නිලධාරීන් හත්දෙනකුගේ මරණ සිදුවු බවත් එම හමුදා නිලධාරීන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් ද විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.



දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියලුම චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළේය.  2006 වසරේදී පාකිස්තානු මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ බසීර් අලි මොහොමඩ් මහතා ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රරණය කළ බවට චෝදනා කරමින් බාලක්‍රිෂ්ණන් බාලසුබ්‍රමනියම් මනෝහරන් නමැති කොටි හිතවාදියකු බව කියන පුද්ගලයකුට එරෙහිව ද නීතීපතිවරයා පවරා තිබු නඩුවක චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තීරණය කළ කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා මීට වසර 06කට පමණ පෙර ඔහු ද සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

මනෝප්‍රිය ගුණසේකර