mahabage-incident

පොලිස් වසම්10කින් රුපියල් කෝටියක් පමණ වටිනා මෝටර් රථ තුනක් සහ යතුරුපැදි හයක් සොරාගෙන කොල්ලකෑම් සහ සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරු වූ මෘදුකාංග ඉංජිනේරුවකු මහබාගේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව අධිකරණ කීපයක ඊට පෙර සිදු කළ සොරකම් සම්බන්ධයෙන් නඩු 21 ක් විභාග වෙමින් පවතින බවත් වරෙන්තු 6ක් ඇත්තෙකු බවත් උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. සැකකරු රැඳී සිටි එම නිවස තුළ තිබී රෙදි කැපීමට යොදා ගන්නා ලක්ෂ ගණනාවක් වටිනා යන්ත්‍රයක්, ප්‍රින්ටර් දෙකක්, යකඩ කපන මැෂිමක්, ඡායා පිටපත් මැෂින් දෙකක්, ලැප්ටොප් පරිගණකයක් වයර් රෝල් හයක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හතරක්, විදේශීය මුදල්, පැරණි නෝට්ටු, පිත්තල භාණ්ඩ ඇතුළු වටිනා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.



මහ මග නතර කර තිබෙන මෝටර් රථ සහ යතුරු පැදි හිටි හැටියේ සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කරන ලද නියෝගයක් අනුව පොලිස් කොස්තාපල් (84762) කුමාර මහතා ලද රහසිගත තොරතුරකට අනුව එම කල්ලියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

සැකකරු සමඟ ඔහු අලුබෝමුල්ල, බොරැල්ල, කිතුල්වත්ත ප්‍රදේශ වලින් සොරා ගත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත්, රිමාන්ඩ් බාරයේ සිට මෙම වසරේ මුල් භාගයේදී ඇප මත පැමිණි පුද්ගලයෙක් බවත් පොලිසිය සඳහන් කළේය.

අනතුරුව තවත් සිව් දෙනෙකු සම්බන්ධ කරගෙන මිරිහාන, මහරගම, හෝමාගම, කඩුවෙල, තලංගම, වැලිකඩ, සපුගස්කන්ද, කහතුඩුව, හොරණ හා අලුබෝමුල්ල පොලිස් වසම්වල මෝටර් රථ සහ යතුරුපැදිසොරා ගෙන මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ අත්බෑග් සහ එකී පොලිස් වසම්වල වෙළෙඳසල් කඩා දේපළ සොරා ගෙන තිබූ බව පොලිසිය කීය.

සැකකරු ඇතුළු ඔහුගේ කල්ලිය එක්ව සිදු කළ සොරකම් 31 ක් ඒ ඒ පොලිසිවලට වාර්තා වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.සොරාගත් මෝටර් රථ දෙකක් සහ තවත් යතුරුපැදි හතරක් කොල්ලකෑම්වලට යොදා ගැනීමෙන් අනතුරුව වෙනත් පොලිස් වසම්වල අත්හැර ගොස් තිබියදී සොයාගත් බවද පොලිසිය පැවැසීය.සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සඳහා විශේෂ පොලිස්  කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ