maharagama-girl-death

කිරිවත්තුඩුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බව කියන 16 හැවිරිදි පාසල් සිසුවියක මහරගම දුම්රිය පොළ ආසන්නයේ දී දුම්රියට පැන මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ  සුමේධා සඳමාලී නමැති (16) හැවිරිදි දැරියක බව පොලිසිය කියයි.



"මම මැරෙනවා. මේකට කවුරුවත් වග කියන්න ඕනි නෑ. මගේ මරණ පරීක්ෂණයේදී කියන්න මට අයිඩින්ටියක් නෑ කියල. ඔයාල හැමෝම මට සමාවෙන්න " යනුවෙන් ලිපියක් ලියා තිබී හමු වූ බව මහරගම පොලිසිය පවසයි.

මෙම දැරිය තම මව සහ බාල නැගණිය සමග තිස්සමහාරාමයේ සිට කොළඹට පැමිණ තාවකාලික නිවසක මෙසේ වාසය කරමින් නිවසක සේවයේ නිරතව සිටියදී මෙසේ දිවි හානි කරගෙන ඇතැයි පැවසේ.

ඒ අනුව පෙරේදා (13) රාත්‍රී 7.40 පමණ මෙම දැරිය මහරගම දුම්රිය ස්ථානය අසලට ගොස් කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ අවසන් පෙට්ටියට පැන අනතුරක් සිදු කරගෙන තිබුණි.

අනතුරින් මුහුණට හා සිරුරට බරපතළ හානි සිදුව මහරගම දුම්රිය ස්ථානය අසල බිම වැටී සිටියදී පදිකයකු ඒ බව දැක පොලීසියට දන්වා තිබේ.



ඒ අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසට පොලීසියට නියෝග කළේය.

ඒ අනුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අනතුර සම්බන්ධ දුම්රියේ රියැදුරු කැඳවා ප්‍රකාශයක් සටහන් කොට ගෙන (14) දා සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (56124) ශාන්ත ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 (මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)