malambe-mystery

මාලබේ කහන්තොට ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක බෝඩිම් කාමරයක තිබී දින තුනකට පමණ පෙර අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගල මළසිරුරක් සොයාගත් බව මාලඹේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව, නව නගරය අක්කර 500, අංක 381 හි පදිංචි විජේසූරිය මුදියන්සේලාගේ ප්‍රණීත් මධුෂාන් විජේසූරිය නමැති (28) හැවිරිදි පෞද්ගලික ආයතනයක විදුලි සුපවයිසර්වරයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා වසර අටක පමණ සිට කොළඹ ප්‍රදේශයට පැමිණ බෝඩිමක රැඳී සිටිමින් රැකියාව කර ඇති අතර දින කිහිපයක් සේවයට නොගිය නිසා එහි සේවකයින් පිරිසක් බෝඩිමට පැමිණ තෙමහල් ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි කාමරයට ගොස් විපරම් කර තිබේ.



එහෙත් කාමරය වසා තිබූ නිසා ඔහු පිළිබඳව බෝඩිමේ හිමිකරුගෙන් විමසීමේදී ඔහුද කාමරය අසලට ගොස් සොයා බැලීමේදී කාමරය තුළින් අධික දුගඳක් වහනය වන නිසා සැක සිතී ඒ බව මාලබේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් පැමිණ කාමරයට ගොස් පරික්ෂා කිරීමේදී මදුරු දැලකින් ආවරණය කරගත් ඇඳක් මත නිදා සිටින අයුරින් මියගිය පුද්ගල මළ සිරුර සොයා ගත් බව පැවසේ.

මෙම පුද්ගලයා මීට දින දෙකකට පෙර මවට ඇමතුමක් ගෙන “අම්මේ, අපි පොලොන්නරුව ඉඩම විකුණලා කොළඹින් ගෙයක් අරගෙන අම්මයි ලොකු අම්මයි ඒ ගෙදරට ගෙනල්ල නවතින්න කැමතියි නේද?'' යනුවෙන් විමසා තිබේ.

ඒ අනුව දින තුනකට පමණ පෙර මෙම පුද්ගලයා මියයන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර මළසිරුර සොයා ගන්නා අවස්ථාවේ අධික ලෙස දුගඳ හමමින් තිබූ බව පොලිසිය කියයි.



ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අයි. ඩී.එච් රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබුණි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ පොලිසියේ පො.සැ. (25927) තුසිත මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )