mattala-nimal-siripala

2017 සිට 2020 දක්වා මත්තල ගුවන්තොටුපොළේ පාඩුව වාර්ෂිකව රුපියල් බිලියන 02 බැගින් වාර්තා වුවද, 2023 වනවිට එම පාඩුව රුපියල් බිලියන 1.1ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කර තිබෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපොළ සඳහා දැනට අභිලාශ 7-8ක් ලැබී තිබෙන බවත්, එම අභිලාශ අනුව යම් ආකාරයකට ගුවන්තොටුපොළ ආකර්ෂණය කර ගැනීමට හැකි වන්නේ නම්, අවුරුදු 3-4ක් ඇතුළත වියදම් කරන මුදලට සාපේක්‍ෂව මත්තල ගුවන්තොටුපොළෙන් ලාභයක් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා-

මත්තල ගුවන් තොටුපොළේ 2017 සිට මේ දක්වා සම්පූර්ණ ආදායමත් වියදමත් තියෙනවා. ඒ අනුව දළ වශයෙන් ගත්තොත් සෑම වසරකම රුපියල් බිලියන 02ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. 2017දී පඩුව රුපියල් බිලියන 02ක් පමණ වුණා. 2018, 2019, 2020 දීත් ඒ වගේමයි. 2021 දී යම් දියුණුවක් ලබා තිබෙනවා. ඒ කියන්නේ අඩුවීමක් තියෙනවා. 2023 වනවිට අපි මේ පාඩුව රුපියල් බිලියන 1.1ක් දක්වා අඩු කර ගෙන තියෙනවා.

පාරිලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල -

මේ රටට නොගැළපෙන විදියට ආදායමක් නැති දෙයකට මුදල් ලබාගැනීම නිසා තමයි රට අද බංකොළොත් වෙලා තියෙන්නේ. මේක ලාභ ලබන තත්ත්වයට ගන්න නම් අමාත්‍යාංශය පැත්තෙන් මොකක්ද කරන්නේ?




වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා -

මත්තල ගුවන්තොටුපොළ සෑදීම නිසා අපට පාඩුවක් ලැබිලා තියෙන බව ඇත්ත. නමුත් එය ලාභදායී බවට පත් කර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග රාශියක් අරන් තිබෙනවා. ඒ අනුව තමයි රුපියල් බිලියන 2ක් වූ පාඩුව මේ වනවිට රුපියල් බිලියන 1.1ට අඩු කරගෙන තියෙන්නේ, දැන් වැඩි ගුවන්යානා ප්‍රමාණයක් එතනට පැමිණෙනවා. ඒ වගේම මෙය වඩාත් ආකර්ෂණීය ගුවන්තොටුපොළක් දක්වා පත් කිරීම සඳහා එන අයෝජකයන්ට ඉඩ ලබාදීමට අපි දැනටම පෞද්ගලික අංශයෙන් අභිලාශ කැඳවීමක් කරලා තියෙනවා. ඉදිරියේදී සංචාරක කර්මාන්තයෙන් අපට මේ ගුවන්තොටුපොළ දියුණු කර ගන්න පුළුවන්, නමුත් ගුවන්තොටුපොළක් හැදුව දවසේ ඉඳලම අපට ලාභ ලබාගන්න පුළුවන්කමක් නෑ. දැනට අභිලාශයන් 6-7ක් ඇවිල්ලා තියෙනවා. ඒවා යම් ආකාරයකට ආකර්ෂණය කරන්න පුළුවන් වුණොත් අවුරුදු 03-04දී අපට වියදම් කරන මුදලට හා සමාන මුදලක් අපට ලබාගන්න පුළුවන්.


දිනේෂ් සමරකෝන්