mattegoda-three-wheel-nabbed

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයකට නැගී පුද්ගලයකු එහි රියැදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට ත්‍රිරෝද රථය කොල්ල කා පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බොරලැස්ගමුව මයුර මාවත ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරු වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.



මෙම ත්‍රිරෝද රථය ඉකුත්දා (04) දා සවස බොරලැස්ගමුව ප්‍රදේශය හරහා මාර්ගයේ ධාවනය වෙමින් තිබිය දී කහතුඩුව ප්‍රදේශයට කුලී ගමනක් යාමට බව පවසා පුද්ගලයකු ත්‍රිරෝදයට ගොඩ වී කහතුඩුව යකඩ වැඩපොළ පාරේ පිහිටි නිවසට පැමිණ තිබේ.

එම නිවසේ විනාඩි පහළොවක් පමණ ගත කොට එහි තිබූ බෑගයක් ගෙන යළි මහ ගෙදරට යාමට බව පවසා කිරිගම්පමුණුව ප්‍රදේශයට පැමිණ එහි රජමහ විහාරය අසලින් අධිවේගී මාර්ගය දෙසට පිහිටා ඇති මාර්ගයේ හුදෙකලා ස්ථානයකට ගොස් එහිදී තියුණු ආයුධයක් රියැදුරුගේ ගෙලට තබා බිය ගන්වා ත්‍රිරෝද රථය මෙසේ කොල්ල කා පලාගොස් තිබේ.



එම අවස්ථාවේදී කොල්ලකරු සමග පොර බැඳීමේ දී ත්‍රිරෝද රථ රියදුරුගේ ගෙලට බරපතළ තුවාල සිදු වී තිබූ අතර මේ බව දුටු යාබද විහාරස්ථානයේ දායක පිරිසක් 119 හදිසි ඇමතුම් අංකයට දන්වා තුවාලකරු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී ගෙලට බරපතළ තුවාල සිදුව තිබූ රියදුරුට මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය අවට පොලිස් ස්ථාන සඳහා පොලිස් නිවේදන නිකුත් කර තිබුණි.



ඒ අනුව ඉකුත්දා (04) දා අලුයම රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි දෙහිවල පොලිසියේ නිලධාරි කණ්ඩායමකට සැක කටයුතු ලෙස දෙහිවල ඕබන් පෙදෙසේ නවතා තිබියදී ත්‍රිරෝදයක් හමු වූ අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය පෙර දින මත්තේගොඩ ප්‍රදේශයෙන් කොල්ල කෑ ත්‍රීරෝද රථය බවටයි.

ඒ අනුව කොල්ලකන ලද ත්‍රිරෝද රථය දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන පැවැත්වේ.

-මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න