mawathagama-incident

මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන 19 හැවිරිදි සේවිකාවකට එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළදී සාස්තරයක් කියන මුවාවෙන් ඇගේ සිරුර අතපත ගා ලිංගික අතවරයක් කළ බව කියන සාස්තරකරුවකු පලායද්දී ඇය සමග එකට සේවය කරන තරුණියන් දෙදෙනකු එම පුද්ගලයා ලුහුබැඳ ගොස් බලවත් පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන මාවතගම පොලීසියට බාරදී ඇත.

සැකකරු මෙල්ල කර ගැනීමට එම තරුණියන් දෙදෙනාට දන්නා හඳුනන තරුණයකුගේ ද සහාය ලැබී ඇතැයි පොලිසිය පවසයි.

තරුණියන් දෙදෙනා සාස්තරකරු අල්ලා ගැනීමට කිලෝමීටර් භාගයකට වැඩි දුරක් ලුහුබැඳ ගොස් ඇතැයි කියති.සාස්තරකරු අල්ලාගෙන මිතුරාගේ කාර් රථයේ දමාගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙනැවිත් මාවතගම පොලීසියට ඒ බව දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සීදූව ප්‍රදේශයේ පදිංචි 49 වන වියේ පසුවන විවාහකයෙකි.දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් සාස්තර කියන මෙම පුද්ගලයා ළඟ කිසියම් තෙල් වර්ගයක් අඩංගු කුප්පියක් ද තරුණියන් රැසකගේ නම් සහ එම අයගේ ලග්න ද ඇතැම් තරුණියන්ගේ ජංගම දුරකතන අංක ද තිබිණි යැයි පොලීසිය පවසයි.

සැකකරු මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ සාස්තර ඇසීමට කැමැති දැයි විමසා ඇති අතර එහි සේවය කරන දහනව හැවිරිදි තරුණියක ඔහුගෙන් සාස්තර ඇසීමට ඉදිරිපත් වී ඇත.

එම අවස්ථාවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇය සහ තරුණ සේවිකාවන් තවත් දෙදෙකු පමණක් සිට ඇතැයි පොලිසිය කියයි. සාස්තර ඇසීමට ඉදිරිපත් වූ සේවිකාව එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථානයකට කැඳවාගෙන ගොස් අමනුෂ්‍ය බැල්මක් ඇතැයි කියමින් ඇයගේ සිරුර අතපතගාමින් ලිංගික අතවරයක් කළ බව කියන අවස්ථාවේ ඇය කෑ ගසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහිදී සාස්තරකරු පලාගොස් ඇති අතර එහි සේවිකාවන් දෙදෙනකු සහ ඔහු ලුහුබැඳ ගොස් අල්ලා පොලිසියට බාරදී  ඇත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය