mohan-de-silva-speaks

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතින අතර ලේකම්වරයාට පමණක් නොව ක්‍රිකට් පාලක මන්ඩලයටම ඉවත්වන්නැයි විවේචකයින් පවසා තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජය හා ඉන්පසු ජනතා විරෝධය හා ඇමතිවරයා කළ ඉල්ලීම මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇත.

ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මෙම ගැටලුවට මැදිහත් වූ අතර, බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, දැඩි තීරණ ගැනීමට ද සූදානම් බව දැනුම් දී තිබිණි.



කෙසේ වෙතත් මින් ඉහත ප්‍රවීණ ක්‍රීඩක මුරලිදරන් පවසා තිබුනේ ‘තමන්ට කොළඹින් ඡන්දයක් ඉල්ලා දිනන්න හැකි වුවත් ‘ ක්‍රිකට් ඡන්ද එසේ නැති බවයි. ඡන්දයකින් පාලක මන්ඩලය නෙරපීමට හෝ පක්ෂග්‍රාහී කණ්ඩායම් බලයට පැමිණ එහි රජ කරවීම කිසිවෙකුට වෙනස් කළ නොහැකි ලෙස ව්‍යුහගතවී ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම අසීරු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය දූෂණ ගැන විගණකාධිපති වාර්තා මගින්ද සනාථ කර තිබූ අතර ඒවා සම්බන්ධ කිසිම ගැටලුවකින් තොරව පෙර වැරදි කළ අය හෝ ඒ අයට සම්බන්ධිත අය නැවත නැවත එහි බලය අල්ලාගනී.
මේ වනවිට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්‘ පරාජයන් මෙන්ම විනය පිරිහීම තරග පාවාදීම ඇතුළු චෝදනා රාශියකට මුහුණදී ජරාජීර්ණ වූ ආයතනයක් බවට පත්ව තිබේ.