mouse-mummies-andes-mountains-mars

දකුණු ඇමරිකාවේ බටහිර කලාපයෙහි පිහිටි ඇන්ඩීස් කඳු පන්තියේ
සෙල්සියස් අංශක සෘණ 40 ක් පමණ වූ හිමාංක උෂ්ණත්වයත්, කඳු මුදුන්වලට පහළින්  මීටර් දහස් ගණනක් පුරා ඇති වෘක්ෂලතාදියත් නිසා අතිශය කටුක පරිසරයක් පවතී.

එසේ තිබියදී කොළ කන් ඇති මී විශේෂයක් මේ මුඩු බිම තම නිවහන කර ගත්තේ කෙසේද?

ආර්ජන්ටිනාව, චිලී, බොලිවියාව සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් චිලී සහ ආර්ජන්ටිනාවේ ඇටකාමා සානුවේ  මීටර් 6,000 (අඩි 19,685) ට වැඩි උන්නතාංශයක සිටි මමීකෘත මීයන් 13 ක් සොයා ගෙන තිබේ. Current Biology සඟරාවේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව ලොව උසම උන්නතාංශයක සිටින ක්ෂීරපායී විශේෂය මොවුන් බවට සනාථ වේ  .

Phyllotis vaccarum ලෙස හඳුන්වන මීයන් සාමාන්‍යයෙන් ඇන්ඩීස් කඳුකරයේ පහත් උන්නතාංශවල ජීවත් වේ. 2020 දී  චිලී දේශ සීමාවේ ඇති මීටර් 6,739 ක (අඩි 22,110 ක් පමණ)  උන්නතාංශයක් සහිත ගිනි කන්දක් වන Llullaillaco කඳු මුදුනේ ජීවමාන මීයන් සිටින බව වාර්තා විය  . එම සත්වයා දැනට  ඉහළම  උන්නතාංශය ජීවත්වන ක්ෂීරපායී සත්වයා සඳහා ලෝක වාර්තාව තබා ඇති බව 2020 කළ අධ්‍යයනයේ සම කර්තෘ වන මහාචාර්ය ජේ ස්ටෝර්ස් පැවසීය.

එසේ සජීවී මීයන් සොයා ගැනීම , විවිධ ගිනිකඳු 21 ක ගවේෂණ කිරීමට පාදක වී තිබේ. ඒ අනුව මෙම මමීකෘත මීයන් 13 සොයාගනු ලැබුවේ සාලින්, පුලර් සහ කොපියාප් යන ගිනි කඳුවලිනි.



 “මෙම පරිසර තත්වයන්  ඉතාමත් කටෝර වන බැවින් ,එවැනි ආන්තික උන්නතාංශවල යමක් සොයා ගන්නා සෑම අවස්ථාවකම අපි සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වෙමු"  යැයි University of Nebraska-Lincoln  ජීව විද්‍යා මහාචාර්ය ස්ටෝර්ස් පවසයි.

මෙම ගිනිකඳු මුදුනේ පවතින්නේ මුහුදු මට්ටමේ ඇති ඔක්සිජන් ප්‍රමාණයෙන් 40% ක් පමණක් බව ඔහු පැවසීය.

සාමාන්‍ය තත්වයන් තුළ දී මීයන්ට බොහෝ විලෝපිකයන් ප්‍රමාණයක් සිටින බැවින් මමීකෘත මීයන් මෙතරම් උසක් පැමිණියේ කෙසේදැයි ගැටළුවකි.

පර්යේෂකයන් විසින්  රේඩියෝ කාබන් කාල නිර්ණය  සිදු කරන ලදී. එමගින් වයස තක්සේරු කිරීම සඳහා ජීවීන්ගේ ද්‍රව්‍ය වලින් කාබන් ලබා ගැනීම සිදු කරයි. එයින් පෙන්නුම් කළේ පැරණිතම මමී අවුරුදු 350 කට වඩා පැරණි නොවන බවත්, ඇතැම් සත්ව දේහ මෑතකදී මිය යා හැකි බවට තහවුරු වන බවත්ය.

"ඔවුන් මෙවැනි ආන්තික උන්නතාංශවලට නැග්ගේ ඇයි? මෙවැනි කටෝර පරිසරයක සිටින්නේ ඇයිද යන්න තවමත් අභිරහසකි. නමුත් ඔවුන් මෙම උස් කදු මුදුනට තනිවම ගිය බව පැහැදිලිය." එසේම පර්යේෂණ කණ්ඩායමට කදු මුදුනේ ඇති සක්‍රීය ගුහා පිළිබඳ සාක්ෂිද සොයා ගැනීමට හැකි වු බව ස්ටෝර්ස් පැවසුවේය.

පර්යේෂකයන් කණ්ඩායම මේ වන විට ඇටවූ උගුලට හසු වූ මීයන් 31 ක් පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටියි. එමගින් ආන්තික තත්වයන් තුළ මෙම මී විශේෂයට ජීවත් විය හැකි ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන බව ස්ටෝර්ස් පැවසීය.

මීයන් ආහාරයට ගත් දේ සොයා ගැනීම සඳහා ඔවුන්ගේ බඩවැලේ අන්තර්ගත දෑ විශ්ලේෂණය කිරීම ද පර්යේෂණයට ඇතුළත් වේ.

ඒ සදහා න්‍යායන් දෙකක් ඉදිරිපත් වී ඇත.
එක් න්‍යායක් වන්නේ , මීයන් ලයිකන අනුභව කරන බවත්,  එය දිලීරයක් සහ ඇල්ගී වර්ගයක් අතර සංයෝගයක් බවත්, එය ඇතැම් ආක්ටික් ක්ෂීරපායීන්ගේ ආහාර වේලෙහි ද පොදු කොටසක් වන බවත්ය. ලයිකන මෙන්ම අනෙකුත් පාසි සහ කුඩා ආත්‍රපෝඩාවන් වර්ධනය වන්නේ ගිනිකන්දේ පාංශු කබොලෙන් ජල වාෂ්ප සහ උණුසුම් වායූන් පිටතට ගලා යාමෙන් බව පරිසර විද්‍යාඥ  එම්මානුවෙල් ෆේබියන් රුපර්ටෝ පැවසීය. .

දෙවන න්‍යාය මගින්  ෆේබියන් රුපර්ටෝ  පවසන්නේ , ශාක කොටස්, කුඩා කෘමීන් සහ අනෙකුත් ආහාර සම්පත් සුළඟින් කඳු මුදුනට ගෙන යන්නට ඇති බවයි.  

“මෙතරම් ඉහළ උන්නතාංශවල ජීවිත්වීම ක්ෂීරපායීන්ට කළ නොහැකි දෙයක් යැයි විශ්වාස කෙරිණි. එමනිසා මෙම නිරීක්ෂණ හිමාලය සහ අනෙකුත් කඳුවැටිවල පෙර වාර්තා අභිබවා යන බව  ෆේබියන් රුපර්ටෝ පැවසුවේය.

කොළ කන් සහිත මීයන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 55 ක පමණ බරකින් යුතු වෙයි. මෙම විශේෂයේ කදුකර ජීවිතය සාර්ථකත්වයට පත් වීමට එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ නිශාචර ජීවන ක්‍රමය වෙනුවට දිවා කාලයේ ක්‍රියාශීලීව සිටීමට අනුවර්තනය වීම විය හැකි බව ස්ටෝර්ස් පැවසීය.

"පරිසරය කෙතරම් සතුරු වුවත් ජීවිතය සැමවිටම මගක් සොයයි," යනුවෙන් ස්ටෝර්ස් පැවසීය.

පරිණායේ දී  සතුන්ට වාසයට නුසුදුසු යැයි මුලින් සිතූ පරිසරයක පසුව ජීවත් වූයේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීමට මෙම සොයාගැනීම උපකාරී වේ යැයි ඔහු බලාපොරොත්තු වේ.