පස්යාල නගරාසන්නයේ වාහන අලෙවි හලකට බලහත්කාරයෙන් කඩාවැදී රුපියල් ලක්ෂ හාරසීයක් වටිනා ජීප් රථයක් පැහැරගෙන යාමට උත්සාහ කළ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකරුවන් අටදෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මේ මස 29 වැනිදා දක්වා
රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්රාත් ජයසේකර රණසිංහ මහතා ඊයේ (15දා) නියෝග කළේය.පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයෙකු වන කහඳවල්පොත මාවතගම පදිංචිකරුවෙකු ඇතුළු අටදෙනෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
පස්යාල නගරාසන්නයේ පවත්වා ගෙන යන වාහන අලෙවි සැලකට පෙරේදා (14) පස්වරුවේ වාහනයක් මිලදී ගන්නා මුවාවෙන් බලහත්කාරයෙන් කඩා වැදී රුපියල් ලක්ෂ හාරසියයක් වටිනා ජීප් රථයක් කොල්ල කා ගෙන යාමට උත්සාහ කළ බව කියන සිද්ධිය සම්බන්ධව
නිට්ටඹුව පොලීසිය විසින් සැකකරුවන් අට දෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දෙපාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ අතර කරුණු දැන්වීම්වලින් අනතුරුව එසේ සැකකරුවන් අටදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.නැවත කැඳවීම මේ මස 29 වැනිදාට කල් තැබිණි.නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා පැමිණිල්ල මෙහෙය විය.
වාරණ ආනන්ද ඉ ජයකොඩි .
0 Comments