norochchole-fraud

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකර ගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අවධානය යොමු විය. නොරොච්චාන්ගේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී නිවැරැදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇතැයි ද මෙහිදී අනාවරණය විය.



මේ සම්බන්ධයෙන් කමිටුව කරුණු විමසූ අවස්ථාවේදී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු නොයෙදීම පිළිබඳව ද කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරිණි.ඇතැම් රහසිගත මෙහෙයුම් කිරීමේදී සහ ප්‍රායෝගික තත්ත්වයන් හිදී ඇඟිලි සටහන් යෙදීමේ අපහසු තත්ත්වයක් පවතින බව රේගු නිලධාරීහු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17 වැනිදා රැස් විය.

මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ අතර නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් එම ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානය යොමු විය.එම පෞද්ගලික ආයතනය ඇමෙරිකානු ඩොලර් 5,139,621 ක් ලෙස මුදල් ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇමෙරිකානු ඩොලර් 6,350,364ක් ලෙස වටිනාකම දක්වා ඇමෙරිකානු ඩොලර් 1,210,743ක් අදාළ ආයතනයට වැඩිපුර ලබා ගැනීමට අවස්ථාව දී තිබූ බව කෝපා කමිටුව පවසයි.මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළේය.
 අංජුල මහික වීරරත්න