Little-Oneshi-died-after-falling-into-a-tourist-hotel-swimming-pool-during-a-family-outing

සියල්ලන්ගේ වචන වලට මුහුණු වල පෙරළිය ඇත්තේ නොහැකි වේදනාවක්ය. ඒ වේදනාව වඩාත් හොඳින් පෙනෙන්නේ දෙනෙත් වලින් ගලා හැලෙන උණු කඳුළු වලින්ය. කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළ පුංචි දැරිවියක් ලොවටම හොරෙන් මෙලෙස අකාලයේ සමුගෙන යෑම කොට ඉවසා දරාගත හැකිද?
සිය පවුලේ හිතවතුන් සමග විනෝද චාරිකාවකට සහභාගි වෙමින් ලැබූ සතුට මොහොතින් දිය රකුසා පැහැර ගත්තේ මුළු ගම්මානයම හඬවමිනි. ඒ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇද වැටීමෙන් අවුරුදු හයක සිඟිත්තියක් මිය යෑමේ සිද්ධිය නිසාය.
වැලිවේරිය. ඇඹරළුව පදිංචි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන පුබුදු මධුසංඛ ගනේපොළ (42) සහ පෞද්ගලික සරසවියක සේවයේ නියුතු ඉමන්ති නදීෂානි විජේසුන්දර (39) දරුවන් දෙදෙනෙකුගේ මවුපිය යුවළකි.
අට හැවිරිදි වියේ පසුවන ඔවුන්ගේ වැඩිමහල් දියණිය ඔනාරා ගනේපොළ ඇය පෞද්ගලික පාසලක තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. හය හැවිරිදි ඔනේෂි ගනේපොළ බාල දියණිය අක්කා ඉගෙනුම ලබන පාසලට ඇතුළත් කළේ මේ අවුරුද්දේය.
ඇය පවුලේ සුරතලිය වූවාය. පාසලේ ගුරුවර ගුරුවරියන්ගේ ආදරය නොමඳව ලද පුංචි ඔනෙෂි ආච්චි අම්මාට දැක්වූයේ ද පුදුමාකාර ළෙන්ගතු බවකි. පුංචි වුණත් ඇය නොවරදවාම ආච්චි අම්මාගේ බෙහෙත් පෙති ටික ළඟට ගෙනවිත් දීමට පුරුදුව සිටියාය. තාත්තා වත්තට පිටියට යන්නේ නම්
සෙරෙප්පු දෙක අරගෙන එන්නේ මේ දෙක දමාගෙන යන්න කියා තාත්තාට තරවටුවක් ද කරමින්ය.
එදින නිවාඩු දිනයක් නොවුණත් පවුලේ හිතවතුන් පිරිසක් සමග නිවාඩුවක් ගත කිරීමට පුබුදු කතිකා කර ගත්හ. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ කළුතර, බදුරලිය, ඉලුක් පොත පිහිටි සංචාරක හෝටලයක්ය. ගමනට දොළොස්දෙනකු සහභාගී වූහ.


පුබුදුගේ පවුලේ සාමාජිකයන් හතරදෙනා සමග හිතවත් වෛද්‍ය යුවළත් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා මෙන්ම තවත් හිතවතුන් කිහිප දෙනෙකු ඒ ගමනට එක්වූහ. උදැසන නවයට පමණ වැලිවේරියේ සිට වාහන තුනකින් ගමන පිටත් වූ පිරිස හෝටලයට ළඟාවෙන විට දහයහමාර පසු වී තිබුණි.
"අපි සිකුරාදා ඇවිත් රෑ නැවතිලා සෙනසුරාදා හවස යන්න තමයි හෝටලය වෙන්කර ගත්තේ. ඇවිත් ටික වේලාවකින් එතන දරුවෝ සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අය පුල් එකට බැහැලා තාන්න තමයි ආස කළේ.''
මේ පිරිසේ සිටි කුඩා දරුවන් පස්දෙනා පිහිනුම් තටාකයේ ළමුන් සඳහා වෙන්කර ඇති
නොගැඹුරු දෙසට හනිකට ගියහ. වැඩිහිටියන් ගැඹුරු දියට බැස්සත් දරුවන් කෙරෙහි තිබෙන අවධානය මොහොතක්වත් අඩු නොකරන්නට වග බලා ගත්හ.
"දරුවන් බස්සලා අපි ඇහැ ගහගෙනමයි හිටියේ. අම්මලා තුන් දෙනෙක් හිටියා. තාත්තලා හිටියා. අපි නැවෙත් දරුවෝ දිහා බලාගෙනමයි. දරුවන්ට කිසිම අනාරක්ෂිත බවක් තිබුණේ නැහැ. ටික වෙලාවක් යනකොට චූටි දුවට මුත්‍රා බරයි කිව්වාම මම එක්කගෙන ගිහින් ඒ අවශ්‍යතාව කරවලා ආයෙමත් කට්ටිය එක්ක නාන්න පුල් බැස්සුවා. අක්කලා බලාගෙනම හිටියේ නංගි එනකම්, ඊට පස්සේ මමත් අනෙත් පැත්තෙන් පුල් එකට බැහැලා එතන බිත්තියට හේත්තු වෙලා දරුවෝ දිහා බලාගෙනමයි හිටියේ.
දරුවන් නොගැඹුරු ප්‍රදේශයේ දිය මත කෙළි දෙළෙන් ගත කළත් කාගෙත් අවධානය යොමුව තිබුණේ ඔවුන් දෙසටය. ටික වේලාවක් යන විට පුබුදු දුටුවේ එක් දරුවෙක් අඩු බවය. දරුවා කාගේ වුවත් ඔහු වහා ක්‍රියාත්මක විය. පුබුදු කෑ ගසන්නට වූයෙන් දිය නාමින් සිටි

කවුරුත් කලබලයට පත් වූහ. වහ වහා දරුවා සොයන විට දුටුවේ ඇස් අදහාගත නොහැකි සිදුවීමත්ය. දෙයියනේ යැයි කාටත් කියවිණි. පුංචි ඔනේෂී ගැඹුරු තටාකය පතුලේය.


පුබුදු සැණෙකින් දියට පැන දරුව ගොඩට ගත්තේය. විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රථමාධාර ලබා දුන්නේ වෛද්‍ය යුවළක්ම එතැන සිටි නිසාය. දරුවාව ඔසවා ගත් ඔවුහු ඉතා ඉක්මනින්ම ආසන්නයේ තිබූ බදුරලිය රෝහලට දරුවා ගෙන ගියහ. බදුරලිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව වහ වහා මූලික ප්‍රතිකාර කළත් තත්ත්වය බරපතළ වූ නිසා දරුවා නාගොඩ රෝහල වෙත මාරුකර කෙරිණි.
පුබුදුත් වෛද්‍ය යුවළත් දරුවා සමගම ගිලන් රථයෙන් නාගොඩ රෝහලට පැමිණියහ. එහෙත් ජීවිතයත් මරණයත් අතර සිටි පුංචි ඔනේෂී නාගොඩ රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් පසු මෙලොවින් සමුගත්තාය.
සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එස්.එස්. අත්තනායක විසින් පවත්වනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ සාධක මත දියේ ගිලීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට නාගොඩ මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස් . ඒ කුමසාරු නිගමනය කළේය.
" දෙවියනේ මං ඉදිරිපිටම රත්තරං මාව දාලා ගියා. මගේ ඇස් දෙක වගේ හිටිය දරුවෝ දෙන්නා. පුබුදුට ඉන් එහා කිසිවක් කතා කරගත නොහැකි වූවේය.
පුබුදුගේ හැඩුම ඒ තරම් සංවේදීය. කිසිවකුටත් අසා සිටිය නොහැකි තරම්ය. මෙලොව කිසිම තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට මෙවන් දුකක් නොවේවා යන්න අවමංගල නිවෙසට පැමිණෙන හැමදෙනාගේම ප්‍රාර්ථනය විය.
පුංචි ඔනේෂිගේ වියෝවෙන් මුළු ඇඹරළුව ගම්මානයම තවමත් සුසුම් හෙළන්නේය. සිය මවට පියාට පමණක් නොව අසල්වාසීන්ගේ ද සිත දිනා සිටි ඔනේෂිගේ වියෝව තවමත් සිහිනයක් බඳුය. සුරංගනාවියක් මෙන් සැරසී උඩුකුරුව නිදන පුංචි ඔනේෂි ඊයේ (19 වැනිදා) සවස වැලිවේරිය පොදු සුසාන භුමියේ දී පොළෝ ගැබට ගියේ අම්මා තාත්තා සහ එකම අත්තාගෙන් සමුඅරගෙන ආයෙමත් සුරංගනා ලෝකයට යන්නටය.

ඉන්දික සංජීව විතාන - හොරණ