oman-visa-sri-lanka

සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023 ඔක්තෝබර් 31 වැනිදා සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිදු රටක පුද්ගලයකුට අවස්ථාව හිමි නොවේ.



මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් "විරෝධතාවක් නොමැති" බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයකුට ඕමානයේ රැකියාවක් හිමිවූයේ නම්, එරටින් පිටවී යළි රැකියා වීසා පතක් ලබාගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතුවේ.



බොහෝ ශ්‍රී ලාංකිකයන් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින්, ඕමානයේ රැකියා සඳහා යොමුවන අතර, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයත් සංචාරක වීසා මගින් ඕමානය වෙත ඇතුළු වී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථාද පසුගිය සමයේදී වාර්තා විය.

ඉහත තීරණය අනුව සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබා ගැනීමේ හා රැකියා වීසා පතකට පරිවර්තනය කිරීමේ කිසිදු අවස්ථාවක් හිමි නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත නොවන ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයන්ට දන්වා සිටියි.

 නවෝද්‍යා පවනී