online-act-parliament

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ඔන්ලයින් පනත‘ රජය මගින් සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශ කිරීම අඩපණ කරන්නට දරන උත්සාහයක් ලෙස විවේචනයට ලක්වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යාමේදී පෙත්සම්කරුවන් 45කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන්, නීතිඥවරුන් 31 දෙනෙක් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. ඒ අනුව මේ සම්බන්ධ පාර්ලිමේන්තුවට දන්වන තුරු පනත අනුමත කිරීමට අවසරය නොලැබිණි.
‘ඔන්ලයින් පනත‘ ලෙස හැඳින්වූ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන සම්බන්ධ පෙත්සම් කරුවන් මතුකළ විරෝධයෙන් පසු එහි නීතිමය වලංගු භාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විස්තර කරමින් පාර්ලිමේන්තුවට දන්වා තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


පනතේ කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන නමුත්
අභියෝගයට ලක්කරන ලද  පනත් කෙටුම්පතේ වගන්ති 31 ක්ම 2/3 තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු මට්ටමේ පවතින සුවිශේෂ ඒවාබවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබේ.
“3,5,7,9,11,12,13,14,15,16,17,18,19,20,21,22,23,25,26,27,28,29,30,31,32,36,37,42,45,53 හා 56 වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 84.2 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතකළ යුතුය.“ යනුවෙන් සඳහන්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වන්නේ මෙකී වගන්තිවල කරුණු සංශෝධනයන්ට ලක්කරන්නට හැකිනම් පමණක් 1/2 සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නට හැකියාව ඇති නම් පමණක් මෙය සම්මත වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සං‌ශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වූ පනත් ‌කෙටුම්පත්, ආ‌යෝජන ගිවිසුම් සහ එකඟතාවන් සම්මත කර ගැනී‌මේදී වි‌ශේෂිත වූ ක්‍රියාපිළි‌වෙතක් ලෙස  වි‌ශේෂ බහුතරය (2/3) අවශ්‍ය ‌වන අතර කාරක සභා අවස්ථා‌වේදී ‌ගෙන එන සියලුම සං‌ශෝධනයන්ට ද තු‌නෙන් ‌දෙ‌කේ බහුතර ඡන්දය අවශ්‍ය ‌වේ.

මේ ගැන විවේචන පළවූ කාලයේ වරදවල් සම්බන්ධ පහත වගන්ති කවරාකාරයෙන් අර්ථ දක්වනු ඇතිද යන්න ගැන ගැටලු තිබිණි.



  •     ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම තහනම් කිරීම (12 වගන්තිය)
  •     අධිකරණයට අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම(13 වගන්තිය)
  •     අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම (14 වගන්තිය)
  •     අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම (15 වගන්තිය )
  •     ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම (16 වගන්තිය)
  •     ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම (17 වගන්තිය)
  •     මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් යම් තැනැත්තකුට වංචා කිරීම (18 වගන්තිය)
  •     මාර්ගගත ගිණුමක් මගින් අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම (19 වගන්තිය)
  •     සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතව ම නින්දා කිරීම (20 වගන්තිය)
  •     කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම (21 වගන්තිය)
  •     හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම ආදිය (22 වගන්තිය)
  •     මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා ළමා අපයෝජනයක් කිරීම (23 වගන්තිය)
  •     වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම (24 වගන්තිය)
  •     කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම (25 වගන්තිය)




මේ වනවිට ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකේ බහුතරයක් නොමැති අතර පනත ගෙන ආ දිනවල විපක්ෂයේ සහයද ඊට නොලැබිණි. ඒ අනුව ‘ඔන්ලයින් පනත‘ සංශෝධනය කර ඉදිරිපත් කරාවිද යන්න අවිනිශ්චිත වන අතර වගන්ති 31 කම දුෂ්කර කරුණු පවතින නිසා හකුළාගන්නට බෙහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.