onmax-dt-court

නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඞීටී' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා සතු රුපියල් කෝටි 100 කට අධික මුදල් සහ දේපළ අත්හිටුවා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (03) කරුණු වාර්තා කළේය.

ඒ අනුව, සැකකරුවන් පස් දෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි 69කට (මුහුණත වටිනාකම ලෙසින් සඳහන්) අධික වටිනාකමින් යුත් දේපළ අධිකරණ නියෝග මත මෙලෙසින් අත්හිටුවා ඇතැයි ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.



මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙසින් නීතිපතිවරයා විසින් නම්කරන ලද ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඊයේ (03) ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන තවමත් මූලික අවධියේ පැවැත්වෙන බැවින් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධාවක් ඇතිවිය හැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘ඔන්මැක්ස් ඩීටී' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයවලුන් ය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥවරුන් වන ඔස්වල් පෙරේරා, ඉරේෂා ද අල්විස් සහ දිනිති අමරසිරි යන මහත්ම මහත්මීහු ද මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීහු සහ සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය.



‘ස්වාමිනි, මෙම සැකකරුවන් පස් දෙනාට චෝදනා නගා ඇත්තේ බැංකු පනතේ 83, මුදල් විශුද්ධිකරණ පනත, ලංකා දණ්ඩනීති සංග්‍රහ පනත සහ මුල්‍ය ව්‍යාපාර පනත යන පනත් මගින්, මෙම ඔන්මැක්ස් ඩීටී ආයතනයේ මුදල් තැන්පත්කර ඇති තැන්පත්කරුවන් ගණන දෙලක්ෂයට අධික බව මේ වන විට විමර්ශනවලින් හෙළිවී තිබෙනවා. මෙහි මුදල් ආයෝජනය කරන්නන්ට මාස පහක් ඇතුළත ආයෝජනය කළ මුදලින් තුන් ගුණයක් ලබාදෙනවා. මෙම සැකකරුවන් අහිංසක දුප්පත් ජනතාවගෙන් ලබාගන්නා මේ මුදල් අත්‍යත්‍ය මුදල් ලෙස එනම් 'ක්‍රිප්ටෝ කරන්සි' ලෙසින් ආයෝජනය කරලා තමයි මේක කරන්නේ. ඊට අදාළ වොලට්ටු සකස් කිරීම සඳහා හැඳුනුම්පත මෙන්ම රියැදුරු බලපත්‍රය සහ ඡායාරූප ලබාගන්නවා. අපේ ලංකාවේ අහිංසක මිනිස්සු විදෙස්ගත වෙලා හම්බකරලා ගේන විදෙස් මුදල් පවා මේ අය අරගෙන තියෙනවා.

සැකකරුවන් මේ ජාවාරම 2022 වසරේ ඉඳලා කරගෙන ඇවිත් තියෙනවා. මෙම සැකකරුවන් පිරමීඩාකාර ආකාරයේ ගනුදෙනු සිදු කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයා මෙන්ම එහි සහකාර අධ්‍යක්ෂකවරයා ද මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් මුල්‍ය ආයතන ලෙසින් නම් කරලා පත්තරවල දැන්වීම් දැම්මාට පස්සෙත් මෙම සැකකරුවන් ඔවුන්ගේ ජාවාරම කරගෙන ගිහිල්ලා තියෙනවා. මේකෙන් සාමාන්‍ය ජනතාවට නෙමෙයි මේ අය තමයි මුදල් දාගෙන තියෙන්නේ.

මෙහි දෙවැනි තෙවැනි සහ සිවුවැනි කණ්ඩායම් තමයි සාමාන්‍ය ජනතාව අතර ඉන්නේ. විමර්ශනය ආරම්භ වුණාට පස්සේ බයිනෑන්ස් සමාගම මැදිහත් වෙලා මෙම වංචාසහගත මුදලින් රුපියල් කෝටි 43ක පමණ ප්‍රමාණයක් අත්හිටුවා තිබෙනවා. මේවා මෙම සැකකරුවන්ගේ වොලට්ටුවල තිබූ මුදල් බයිනෑන්ස් මැදිහත්වෙලා තමයි මේක නැවැත්තුවේ. මෙහි සැකකරුවකු වන සම්පත් සඳරුවන් යන අයගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 558ක් ද, අතුල ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් මිලියන 29ක්ද, ධනංජය ජයාන් යන අයගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 117ක් ද සාරංග ඉන්දික යන අයගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් මිලියන 82ක් ද ගයාෂාන් යන අයගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 19ක් ද අධිකරණ නියෝග අනුව අත්හිටුවා තිබෙනවා. ඒ වගේම සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් මිලියන 624ක දේපළද, ඉන්දික සම්පත් යන අය සතුව තිබූ රුපියල් මිලියන 55ක දේපළද සාරංග ජයසිංහ යන අය සතුව තිබූ රුපියල් මිලියන 91ක දේපළ ද අධිකරණයෙන් අත්හිටෙව්වා.



මේ වන විට මෙම වංචාවට හසුවූ ගණන දෙලක්ෂ දහනවදහසකට අධිකයි. මෙම සිද්ධියේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ලේයර් එකේ හිටිය තිදෙනකුට මේ වන විට දිවි අහිමිවෙලා තිබෙනවා. වීරකැටියේ පුද්ගලයෙක් බෙල්ලේ වැල දාගත්තා. වලස්මුල්ලේ පුද්ගලයෙක් කපලා මැරුවා. ඒ වගේම දෙහිවල පුද්ගලයෙක් බොල්ගොඩ ගඟට පැනලා මැරුණා. මෙම සිද්ධියට අසුවූ අය අද වන විට නීතිය අතට ගන්නා තත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මොවුන්ට ඇප නියම වුවහොත් විශාල මහජන කැළඹීමක් ඇතිවීමේ ප්‍රවණතාව තිබෙනවා. මේ තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 3000කට අධික මුදලක් මෙම සැකකරුවන් වංචා කරලා තියෙනවා. මේ මුදල්වලින් යම් ප්‍රමාණයක් අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත් රජය වෙනුවෙන් ඉල්ලා සිටින්නේ නීතිය අතට නොගෙන තම මුදල් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි ලියැකියවිලි සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි."

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

“මෙම ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමය විදෙස් රටවල නීත්‍යානුකූල මුදල් ආයෝජන ක්‍රමයක්. මේ ඔන්මැක්ස් ඩීටී කියන සමාගමේ මුල් ශාඛාව ඔස්ට්‍රේලියාවේ පිහිටුවා තිබෙන්නේ. මෙහි ගනුදෙනු කරන මුදල් ක්‍රමය යූ.එස්.ඩී.ටී. එම මුදල් ක්‍රමයෙන් තමයි මෙහි ආයෝජනය කරන්නේ. යූ.එස්.ඩී.ටී 100ක් දැම්මොත් 200ක් දෙනවා. මෙය නීති විරෝධී ගනුදෙනු ක්‍රමයක් නෙමෙයි. විශේෂයෙන්ම මෙය පිරමීඩාකාර ගනුදෙනු ක්‍රමයක් නෙමෙයි. මගේ සේවාදාකයන්ගෙන් දෙන්නෙක් ජෝජියාවේ ඉඳලා එද්දී අත්අඩංගුවට ගත්තා. පස්සේ දහපාරකට වැඩිය කට උත්තර දෙන්න සී අයි ඩීයට ගියා. අධිකරණයෙන් මෙම බයිනෑන්ස් තහනම් කරපු දවසේ ඉඳලා මේ ගනුදෙනු නතර වුණා. පසුව නීතිපතිවරයාගේ නියමයෙන් මෙහි දෙවැනි සැකකරු අත්අඩංගුවට ගත්තා. පසුව එදින පාන්දර 3ට පමණ අනෙක් සැකකරුවන් පොලීසියට බාරවුණා."

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට නියෝග කළේය.

සැකකරුවන්ගේ ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබාදෙන ලෙසට ද අධිකරණයෙන් සැකකරුවන්ට නියෝග නිකුත් විය.

ඒ අනුව ලබන 16 වැනිදා මෙම සිද්ධිය යළි කැඳවීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

නිමන්ති රණසිංහ