pakistan-shopping-mall-fire-karachi-deaths

පාකිස්තානයේ වාණිජ අගනුවර ලෙස හැදින්වෙන කරච්චි හි සාප්පු සංකීර්ණයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
එය සිදුව ඇත්තේ දකුණු වරාය නගරයේ පිහිටි මහල් හයකින් යුත් ගොඩනැගිල්ලේ සිව්වන මහලයේ බව සදහන් වෙයි.

මහලේ ගින්න හටගන්නා විට වෙළෙඳ සංකීර්ණය තුළ පුද්ගලයන් 60කට අධික පිරිසක් සිට ඇත.

ගලවා ගැනීමේ සේවාවක් පවත්වාගෙන යන චිප්පා සුබසාධන සංවිධානයේ ප්‍රකාශකයෙකු වන ෂාහිඩ් හුසේන් පැවසුවේ , ඔවුන්ගේ  ගලවා ගැනීමේ සේවකයින් විසින් මේ වන විට මළ සිරුරු 11 ක් රෝහල් වෙත ගෙන ගොස් ඇති බවයි  

තුවාල ලබා ඇති 35 දෙනාගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඔහු පවසා තිබේ.

කෙසේ නමුත් ඔහු සදහන් කරන ආකාරයට මෙම අනපේක්ෂිත ගින්නෙන්  මේ වන විට අවම වශයෙන් 40 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.



පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ෂබීර් අලි මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තහවුරු කර තිබේ

හුසේන් පැවසුවේ විදුලි උත්පාදන යන්ත්‍ර කෙටි පරිපථයකින්  [generator short circuiting] ගින්න හටගෙන ඇති බවත් , එය තට්ටු දෙකක් දක්වා පැතිර ගොස් ඇති බවත් ය.

ඔහු වැඩි දුරටත් පවසන්නේ දුර්වල ආරක්ෂක නීති හේතුවෙන් පාකිස්තානයේ ගොඩනැගිලිවල ගිනි ගැනීම් නිතර සිදුවන බවයි.


2012 වසරේ දීද  බටහිර කරච්චියේ බල්ඩියා නගරයේ ඇඟලුම් කම්හලක ගින්නක් ඇති වීමෙන්  කම්කරුවන් 250 ක් මිය ගොස් තිබිණ.

එසේම මේ වසරේ අප්‍රේල් මාසයේදීද  කරච්චි ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නකින් ගිනි නිවන භටයන් හතර දෙනෙකු මිය ගොස් ඇත.

තවද   2021 අගෝස්තු මාසයේදී එම නගරයේම රසායනික කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇත.