pannipitiya-dead-body

පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ නාන කාමරයක තිබූ පුද්ගල මළසිරුරක් සොයාගත් බව කොට්ටාව පොලීසිය සඳහන් කරයි.අදාළ සිරුර හෝමාගම ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදිංචි සුදත් චින්තන රූපසිංහ (39) නමැත්තාගේ බවට අනාවරණය වී තිබේ. මරණකරු දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළසිරුරක් සොයා ගත් බව කොට්ටාව පොලීසිය පවසයි. මරණකරු පෞද්ගලික බැංකුවකට අනුබද්ධ ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කොට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ වනවිටත් සිරුර නරක් වී තිබු බවත් අධික ලෙස දුගද වහනය වෙමින් තිබූ බවත් පැවසේ.

මොහු මීට දින කිහිපයකට පෙර මරණයට පත් වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළේය.

එහෙත් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට මෙතෙක් භාරකරුවෙකු ඉදිරිපත් නොවීම නිසා මෘතදේහය මේ දක්වා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පැවසේ.අදාළ මාතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට භාර කරුවෙකු වෙතොත් 0112 - 782760 අංකයට අමතා කොට්ටාව පොලීසියට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන්  ඉල්ලා සිටියි.කොට්ටාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මත්තේගොඩ - ශාන්න ප්‍රදිප් කුමාර කුලරත්න/බිමල් ශ්‍යාමන් ජයසිංහ