රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.කතානායකවරයාට දන්වා පෙර කළ වේලාව වෙන්කරවාගැනීමක් මත නිසි පරිදි මෙම ප්‍රකාශය සිදු කර තිබූ අතර සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ රට බංකොළොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව රජය ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බවයි.

මෙම ප්‍රශ්නය ඉදිරිපත්  කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන්ට රාජපක්ෂ විරෝධය උහුලන්ට බැරි විය.


දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට  විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණි. පැමිණි අය අතර සනත් නිශාන්ත හා ප්‍රසන්න රණවීර විය.
පාර්ලිමේන්තුවේ වේත්‍රදාරීන් ආරක්ෂකයින් එය වැළැක්වීමට උත්සාහ කළත් විනයක් නැතිව විපක්ෂය දෙසට කඩාපැන්න  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එක්වරම ඉදිරියට විත් සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ කියවමින් තිබුණ ලේඛනය උදුරාගෙන ගියේය. පසුව විපක්ෂ නායක මයික්‍රොෆෝනය භාවිත කරමින් කෑ ගැසමින් හැසිරෙන අයුරුද දක්නට ලැබිණි.

එමෙන්ම මෙම අවස්ථාවේදී සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද සිදු  කර තිබූ නමුත් ඔහු එය වීඩියෝ කලේය.


මෙම අවස්ථාවේ සභාව මිනිත්තු 5 කට නතර කරන්නටද කතානායක කටයුතු කළේය.
මෙම අවිනීත හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පසුව කතානායක වෙත පැමිණිලි කරමින් ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. නමුත් කතානායක කිව්වේ ඒ ගැන පරීක්ෂණයක් ගන්නා බව පමණි.