philippines-radio-host-juan-jumalon-killed

දකුණු පිලිපීනයේ  ජුවාන් ජුමාලන් නම් නිවේදකයා ඉරිදා දිනයේ දී ඔහුගේ නිවසේදී  ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පළවේ. ඒ ඔහු විසින් සජීවී ෆේස්බුක්  වැඩසටහනක් විකාශනය කරමින් සිටියදී ය.

"DJ ජොනී වෝකර්" ලෙසද හැඳින්වෙන විකාශක ජුවාන් ජුමාලන් නාඳුනන ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පිලිපීනයේ මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (NUJP) X හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
“ප්‍රහාරය වඩාත් හෙළා දැකිය හැකි වන්නේ එය ගුවන් විදුලි මැදිරියක් ලෙසද පැවති ජුමාලොන්ගේම නිවසේ දී සිදු වූ බැවිනි. පසුගිය ජූනි මාසයේදී ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් බලයට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වූ හතරවැනි මාධ්‍ය සේවකයා ජුමලොන් බව ද එහි සඳහන් වේ.



Jumalon ගේ විකාශනයන්, සාමාන්‍යයෙන් විකාශය වන්නේ Facebook හී ඇති 94.7 Gold Mega Calamba FM හරහාය. එය අනුගාමිකයින් 2,900ක් පමණ සිටින Visayan (භාෂා) මධ්‍යස්ථානයකි.

 මිසාමිස් ඔක්සිඩෙන්ටල් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, අලුයම 5:35 ට පමණ අපරාධකරු නිවසට ඇතුළු වී ජුමාලෝන්ගේ මුහුණට වෙඩි තබා ඇත . ඔහු රෝහල් ගත කරන අතරතුරදී මිය ගිය බව වාර්තා වෙයි.

ඉරිදා ඔහු විසින් සිදු කරනු ලැබූ එම සජීවී විකාශය Facebook වෙතින් මේ වනවිට ඉවත් කර ඇත. නමුත් අන්තර්ජාලය හරහා සංසරණය වන සිද්ධියේ වීඩියෝ පටවල පෙනෙන්නේ වෙඩි හඩක් ඇසීමට පෙර ජුමාලන් විරාමයක් තබා කැමරාවෙන් ඉවතට හැරී බලන ආකාරයයි.



නිවසට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු සහ පලා ගිය රියදුරෙකු ඇතුළුව සැකකරුවන් තිදෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇති බව මාධ්‍ය හමුවකදී පොලිස් ස්ථාන භාර නිලධාරි කපිතාන් ඩියෝර් ලිබ්‍රේ රගෝනියෝ පැවසුවේය .

ප්‍රහාරයට හේතුව ජුමාලොන්ගේ විකාශන කටයුතුද එසේත් නැතිනම් පෞද්ගලික කාරණාවක්ද යන්න සම්බන්ධව පොලිසිය විමර්ශනය කරමින් සිටින බව ද රගෝනියා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මාකෝස් ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ ජුමාලොන්ගේ මරණය පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස තමා පිලිපීන ජාතික පොලිසියට නියෝග කළ බවයි. "අපගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මාධ්‍යවේදීන්ට පහර දීම නොඉවසන අතර, මාධ්‍ය නිදහසට තර්ජනය කරන්නන් ඔවුන්ගේ ක්‍රියාවන්හි සම්පූර්ණ ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇත," යනුවෙන් මාකෝස් X හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය .

මාධ්‍යවේදීන් සඳහා ලොව භයානකම ස්ථානවලින් එකක් ලෙස පිලිපීනය ප්‍රකටය. දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ (RSF) මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180 න් 132 වැනි ස්ථානයටද පිලිපීනය පත්ව ඇත .