poke-police

සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 50 න් 45 ක් සාවද්‍ය පරිහරණය කොට කිලෝ 05 ක් පමණක් අධිකරණයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටි උපපොලිස් පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පසුගිය 22 දා නියෝග කළේය.

එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ දැනට තිහගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන සරත් අබේසේකර නමැති නිලධාරියෙකි.



ඔහු මීට පෙර අකුරැස්ස පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සැකකරුවකු සමග අත්අඩංගුවට ගනු ලැබූ වල් ඌරු මස් කිලෝ 50 කින් 45 ක් සඟවා ගෙන කිලෝ 05 ක් පමණක් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති බවට අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා සිදු කළ විමර්ශනයක දී අනාවරණය වී තිබුණි.

ඉකුත් ජනවාරි මාසයේ දී එම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණ අතර එහිදී සිදුවූ වල් ඌරු මස් වංචාව පිළිබඳව කිසිවකු විසින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එවනු ලැබූ පෙත්සමකට අනුව අකුරැස්ස සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ පරීක්ෂණය පැවැත්විණි.

ඒ අනුව උපපොලිස් පරීක්ෂකවරයා අකුරැස්ස පොලීසියේ සිට තිහගොඩ පොලීසිය දක්වා ස්ථාන මාරු කර තිබූ අතර ඔහුට චෝදනා පත්‍රයක් ද නිකුත් කර ඇත.

පසුව විමර්ශන වාර්තාව අනුව අකුරැස්ස පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.



ඒ අනුව සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාට පෙරේදා (22) මාතර උසාවිය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි යවා තිබූ අතර ඒ අනුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී ශරීර ඇපයක් මත ඔහු මුදා හළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ වැඩි දුර විභාගය ජනවාරි 24 වැනිදා දක්වා කල් තැබිණි.

 දෙයියන්දර ජයන්ත ජයවර්ධන හා අකුරැස්ස ප්‍රියන්ත දසනායක