polythine-eat-school

නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින්එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුන්ට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.පත්තර පිටු සහ පොලිතින් සපා කෑ සිසුන් දෙදෙනෙකු අසනීප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

එම සිසුන් දෙදෙනාට උදරයේ අමාරුව, වමනය, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතු වී ඇතැයි ඔවුන්ගේ මවුපියන් කර ඇති පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය සඳහන් කරයි.

විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතින් හා පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට බෑගයේ දමාගෙන සිට ඇති අතර විදුහල්පතිවරයා එම පොලින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමා ගිලින්නැයි ප්‍රකාශ කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය කියයි.

පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුන් සම්බන්ධයෙන් විමර්ශන කරන බවද පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. මේ අතර ගම්පොළ කලාප කාර්යාලයෙන් විමසීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
 රංජිත් රාජපක්ෂ