postal-strike-nuwaraeliya

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මහතා පැවසීය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව තැපැල් සේවකයන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් හෙට (9) පැවැත්වේ. තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි සංචාරක ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමට ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා පැවැති නුවරඑළිය නගර සංවර්ධන පිළිබඳ සාකච්ඡාවේදී උපදෙස් දී ඇති බව සම්පත් ලියනගේ මහතා පැවසීය.



මෙවැනි වටිනා ගොඩනැගිලි මෙලෙස පෞද්ගලික අංශයට පැවරීම ජාතික අපරාධයක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (8), හෙට (9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත. තැපැල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මෙම පියවර ගෙන ඇත.
සුජිත් හේවාජුලිගේ