ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකිරීමට ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් එම එම ඒකකයේ ප්‍රකාශකයකු පැවසුවේ ඉදිරි දින කීපය තුළදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය අගහරුවාදා (14) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ 2019 අංක 24 දරණ ක්‍රීඩාවට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතට ගැනෙන තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන කාරණාවලට අදාළ තොරතුරු පිළිබඳ ඔහු දැනුවත් වී සිටින බවට ප්‍රකාශ කර තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පනතට ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා දැනුම් දුන් බවයි.
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඔහු විසින් සිදු කරන ලද අදාළ ප්‍රකාශයන් තුළින් බරපතළ තත්ත්වයන් නිර්මාණය වෙමින් ඒ පිළිබඳව විශාල සමාජ කතිකාවක්ද ඇති වෙමින් තිබෙන බැවින් තමන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටීමට පෙළඹ වූ බවත් ක්‍රීඩා ඇමැතිවරයාගේ අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.පසුගිය අඟහරුවාදා (14) දීර්ඝව කරුණු දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය බහුවිධ කුමන්ත්රණකාරී වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් බවයි.
පසුගිය වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේදී ලද අත්දැකීම් තුළින් එය නිරීක්ෂණය වූ බවත් ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනම එකී ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියි.තවදුරටත් එහිදී වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සඳහා වන බලාපොරයන්ට හවුල් පුද්ගලයන්ද තරග පවා දීමේ සූදුවේ නිරත තැරව්කරුවන්ද ආත්මාර්ථකාමීත්වය පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයන්ද මෙම සිදුවීම් පිටුපස සිටින බවට සමාජ මාධ්‍යයන් ඔස්සේ වඩාත් නිරීක්ෂණය වූ බවත් ඒ සඳහා අත දිග හැර වියදම් කළ ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය බිඳ දැමීම බවත්ය.
වසර 2020 පෙබරවාරි මාසයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ස්ථාපිත කළ ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත යටතේ පුළුල් බලතල සහිතව ස්ථාපිත කළ පොලිස් ඒකකයකි. එහි විශේෂත්වය එය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඍජුව වගකියන පොලිස් ඒකකයක් වීමයි.
නාමල් පතිරගේ
0 Comments