pramodya-speaks-sri-lankan-cricketers-return

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී
ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙක් ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ
පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩකයින් , පුහුණුකරුවන් , භෞතචිකිත්සකයන්  ඇතුළු නිලධාරීන් සියලුම දෙනා අද ආපසු ආහ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 9ක් ක්‍රීඩා කර අතර ජය ගත්තේ තරග
දෙකක් පමණි.

 ඒ් අනුව කණ්ඩායම් 10ක් අතරින් ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ රැදී සිටියි. ශ්‍රී ලංකාවට පහතින්
සිටින්නේ නෙදර්ලන්තය වන අතර ඔවුන්ට තවත් තරගයක් ඉතිරිව තිබේ. මෙම පරාජිත තත්වය නිසා ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයටද ශ්‍රී ලංකාවේ නියෝජනය අහිමි විය.

ICC ලෝක කුසලාන තරඟාවලියේ දුර්වල දස්කම් වලින් පසු දැඩි ආරක්ෂාව මධ්‍යයේ දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ට ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සලසා දී තිබියදීත් ඔවුන්ගේ පුද්ගලික වාහන වලින් BIA වෙතින් පිටත් විය.කණ්ඩායමට ගුවන් තොටුපළෙන් පිටත්වීමට විශේෂ බස් රථයක් සූදානම් කර තිබුණද බොහෝ ක්‍රීඩකයන් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ සිය පෞද්ගලික වාහනවලින් සිය නිවෙස් බලා පිටත්ව ගියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඛේදනීය පරාජය පිටුපස කිසියම් පිරිසක් සිටි බවත් එය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී සැලැස්මක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සියතට ගැනීමට උත්සාහ කරන බවත්, මේ පිළිබඳ සියලු කරුණු දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරන බවත් ඔහු පැවසීය.