pramodya-speaks

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණ නිවැරදි නොවේ නම්, එම තීරණ අනුමත කළ ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිවයුත්තකු වන බව සඳහන් කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ සාමාජිකයන්ගේ අත්සනින් යුතුව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් සඳහා තේරීම් කමිටුව වගකිව යුතු යැයි පැවසීම හාස්‍යයක් බවද එහි සඳහන් කර ඇත.



අදාළ ලිපියේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

"අවසාන වශයෙන් ගත් කල පිටියට එළඹෙන ක්‍රීඩකයන් 11 දෙනෙකු තේරීම ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායමේ නායකයාගේ තීරණයට යටත්ව ගනු ලබන සාමූහික තීරණයක් වන්නේය. එහිදී සමබර කණ්ඩායමක් නිර්ණය කිරීම එකී සාමූහික තීරණයේ ප්‍රතිපළයක් වන්නේය.

ඒ අනුව බලන කල ඉන්දියාව හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පැවතුණ තත්ත්වය යටතේ තෝරාගත හැකිව තිබූ හොඳම සමබර කණ්ඩායම වන බවද මෙහිලා සිහිපත් කරනු වටී, පරාජය පිළිබඳ විවේචන එල්ල කරනු විනා එදිනට ක්‍රීඩා කළ යුතුව තිබුණු, නමුත් අප විසින් තෝරා ගැනීම මඟ හරිනු ලැබූ විකල්ප ක්‍රීඩකයන් වූයේ කවුද, ඒ කුමන හේතුවෙන්ද යන්න පිළිබඳව සඳහනක් හෝ ඔබ නිවේදනයේ දක්නට නොලැබීම එම නිවේදනය තුළ පවතින හිස් බව තහවුරු කරයි.



තේරීම් කමිටුවේ කාර්ය භාරය ඉටු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ දක්වා ගොඩනඟා ඇති විශිෂ්ටයන් අතරින් අතිශිෂ්ටයන් කණ්ඩායමක් පිටියට හඳුන්වාදීම පමණක් බව මෙහිලා සඳහන් කළ යුතුව තිබේ.

එම ක්‍රීඩකයන්ටද පිටියට ගොස් ක්‍රීඩා කිරීමට වරම් ලැබෙනුයේ ක්‍රීඩා පනතට අනුව ඇමතිවරයා සතු බලතල අනුව එම ක්‍රීඩක ලැයිස්තු අනුමත කරන්නේ නම් පමණකි. නමුත් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ අමාත්‍යවරයකු අප තෝරාදුන් එවැනි ක්‍රීඩක ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නැත. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් සඳහා තේරීම් කමිටුව වගකිව යුතු යැයි පැවසීම හාස්‍යයක් වනවා සේම එම තේරීම් වැරදි නම් එවැනි වැරදි තේරීමක් අනුමත කළ ක්‍රීඩා අමාත්‍යවරයාද එහි වගකිවයුත්තෙක් වන්නේය.”

 -   දිනේෂ් සමරකෝන්