pre-school-teacher-incident

පිළියන්දල කහපොළ නිවසක තනිව විසූ 63 හැවිරිදි වයෝවෘද්ධ පෙර පාසල් ගුරුවරියගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජනය කර කටට රෙදි කැබලි ඔබා අත් පා ගැට ගසා රන් ආභරණ සහ මුදල් කොල්ල කා පලා ගිය පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5765 ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුවන් කොල්ලකෑ මුදලින් මිලදී ගෙන තිබූ යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ඉකුත් මස 25 වැනි දින පෙර පාසල් ගුරුවරිය නිවස තුළ නින්දේ සිටියදී අලුයම් කාලයේදී නිවසේ මුළුතැන්ගෙයි දොර අසල ජනේලය කඩා ඇතුළු වී තිබූ සැකකරුවන් දෙදෙනා ඇයගේ ගෙලට උල් පිහිය තබා කෑ ගැසුවොත් මරණ බවට තර්ජනය කර රෙදි කැබලි කටට ඔබා අනතුරුව අත් පා ගැට ගසා මාලය සහ මුදු දෙක කොල්ලකා අත් බෑගයේ තිබූ රුපියල් 68,000 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.



ඉතා ආයාසයෙන් ජනේලයක් අසලට බඩගාගෙන පැමිණි පෙර පාසල් ගුරුවරිය යාබද නිවැසියන්ට කතා කර මේ බව පවසා තිබූ බව පොලිසිය කීය.

අසල්වාසීන් පැමිණ ගුරුවරිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර දින දෙකක් ඇය නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

කැස්බෑව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් 75769 ජයතුංග නිලධාරියා සීසීටීවී දර්ශන කීපයක් ඔස්සේ විමර්ශන කිරීමේ දී පෞද්ගලික ඔත්තුකරුවකු සැකකරු පිළිබඳ ලබාදුන් තොරතුරු අනුව කහපොළ ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑමේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.



සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව පෙර පාසල් ගුරුවරියගේ නිවසට ඇතුළු වී කොල්ලකෑ දේපළ රාජගිරිය සහ හෙට්ටිවීදිය ප්‍රදේශවලට විකුණා මුදල් බෙදාගත් බවත් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු රුපියල් විසිදහසක් ගෙවා මිලදී ගෙන තිබූ ජංගම දුරකථනය සොයාගත් පොලිසිය අනෙක් සැකකරු ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී රුපියල් 60,000 ක් ගෙවා යතුරුපැදියක් මිලදී ගෙන ඇති බව හෙළිවිය. එම යතුරුපැදියද පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හෙට්ටිවීදියට සහ රාජගිරිය ප්‍රදේශයට විකුණන ලද රන් භාණ්ඩ ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිතය

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද පොලිසිය කීය.

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 75769 ජයතුංග පොලිස් කොස්තාපල්වරුන් වන 93746 බාල කුමාර් 93724 දිසානායක 103839 චතුරංග යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

-   බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ