rajagiriya-incdent

රෝගීව එක්තැන්ව සිටින සිය පියා රැකගැනීම සහ පවුල නඩත්තු කිරීමේ වගකීම මව මිය යෑමෙන් අනතුරුව කරට  ගෙන නිවසක මෙහෙකාර සේවයට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, අපයෝජනයට පත් දැරියට රුපියල් ලක්‍ෂ 05ක වන්දියක් ගෙවීමටද ඊයේ (21දා) නියම කළේය.

මේ වනවිටත් විත්තිකරු පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයෙන් පලා ගොස් සැග වී සිටින බැවින්, විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා, විත්තිකරුට රටින් පිටව යෑම තහතම් කරමින් විදේශ ගමන් තහනමක්ද පැනවීය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ,

රාජගිරිය ප්‍රදේශයේ පදිංචි හිමාශ ප්‍රමින්ඩ ගනේගොඩ නමැත්තාටය.

2003 අප්‍රේල් මස 15වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී තරුණියක අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී අපයෝජනයට පත් වූ තරුණිය අධිකරණයේ සාක්‍ෂි ලබාදෙමින් තමාගේ පියා ඔත්පළව නිවසේ එක්තැන්ව සිටින බවත්, පවුල නඩත්තු කරමින් සිටි මව හිටිහැටියේ මියයෑමෙන් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත් වූ බවත් පැවසුවාය.ඔත්පළව සිටින පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුරදීම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට ගිය බවත්, ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමා අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළ බවත් පවසා සිටි අදාළ තරුණිය, මේ පිළිබඳ කිසිවෙකුට හෝ කිව්වොත් හමුදාවේ යහළුවන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බවද පවසා සිටියාය. තමා අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව ගැබ් ගැනීමෙන් වැළකීම සඳහා ඔහු තමාට උපත් පාලන ක්‍රම සිදුකළ බවද තරුණිය අධිකරණය හමුවේ හෙළි කළාය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා,

සියලු චෝදනාවන්ට විත්තිකරු වරදකරු කළේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ චතුරංග බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුගේ නෑනා යැයි පැවසෙන කාන්තාවක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක රාජකාරි කරන හෙයින් මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන බව පවසමින් ඔහු මෙම අපරාධ කර ඇතැයි පැවසීය.

විත්තිකරු සිදුකර ඇති අපරාධය සම්බන්ධයෙන් මුළු සමාජයටම  ආදර්ශයක් වන අන්දමට මෙම විත්තිකරුට දැඩි දඬුවම් දෙන්නැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ චතුරංග බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා,විත්තිකරුට නියම කළ දඩ සහ වන්දි මුදල් නොගෙව්වොත් අමතරව වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් නියම කළේය.

බුද්ධිමාල් රුබේරු