ranil-cricket

කිසි විටෙක කාගේවපැත්තනොගන්නා අතර තමා ගන්නා එකම පැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේ පැත්ත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (9) පැවසීය.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ආණ්ඩුව ලෙස බලධාරීන්ට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහි දී පැවසීය.



ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 1996 දී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා මට්ටමට රැගෙන ආ බව කී ජනාධිපතිවරයා තමා රජය ඇතුළු සියලු පාර්ශවල එකම අරමුණ විය යුත්තේ නැවතත් ඒ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන ඒම බව ද සඳහන් කළේය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අයි.සී.සී. ආයතනය යම් කාරණයක් සම්බන්ධයෙන් පෙරේදා (8) කතා කර තිබෙන බවට තමාට ආරංචි ලැබි ඇතැයි කී ජනාධිපතිවරයා තමාට ඇති එකම බය ඒ කාරණය යැයි ද සඳහන් කළේය.

වර්තමානයේ පැන නැඟී ඇති තත්ත්වය අනුව කමිටු දමා විසඳුම් සෙවීම පලක් නොවන බව කී ජනාධිපතිවරයා කළ යුතු එකම දේ සම්පූර්ණයෙන් ක්‍රිකට් නීතිය වෙනස් කිරීම බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් චිත්‍රසිරි වාර්තාව ඒ අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා කීය.ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකල පාසල් ක්‍රීඩාව ගොඩනැගීම සම්බන්දයෙන් තමාට ද වගකීමක් පවරා තිබු බව කීය.පාර්ලිමේන්තු කමිටු ශාලාවක දී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර මෙම හමුව පැවැත්විණි.

අංජුල මහික වීරරත්න