සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැගීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගත් තීන්දුවක් නොවන බව කී ජනාධිපතිවරයා එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බව කීය. නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරැදි තීරණ ගැනීම බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පෙරේදා 01 වැනිදා පස්වරුවේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි. දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.ඉදිරි අයවැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම උදෙසා, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ජාතික කර්මාන්ත විශිෂ්ටතා උළෙල 2023 සංවිධානය කර තිබිණි.මෙහිදී ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් හා උපකර්මාන්ත ක්ෂේත්‍ර 61 ක් වෙනුවෙන් තරග කිරීමට අයදුම් කළ කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ ව්‍යවසායකයන් 300 දෙනෙක් ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මෙහිදී සම්මාන ලැබූ පිරිස දෙස බැලූ විට මට පසුගිය වසර පිළිබඳ සිහිපත් වුණා. පසුගිය වසර වන විට මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව ගැටලු රැසකට අප මුහුණ දී සිටියා. එදා විදුලි බලය තිබුණේ නැහැ, බැංකු ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. මේ හේතුවෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියා.කෙසේ හෝ අද අපේක්ෂා නොකළ තරම් විශාල සංඛ්‍යාවක් නැවත තම කර්මාන්තවල නිරත වී සාර්ථකව ඉදිරියට පැමිණ සිටිනවා. කුඩා කර්මාන්ත සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉතා කෙටි කාලයක් තුළ නැවත දියුණු වී තිබෙනවා. එහෙත් ඇතැම් ගැටලු තවමත් විසඳී නැහැ. බැංකු ණය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම වෙළෙඳපොළ ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ එම ප්‍රශ්න විසඳීමටත් අපේ අවධානය යොමුව තිබෙනවා.
රටේ කඩා වැටුණු ආර්ථිකය යළි පණගැන්වීමේ සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මෙන්ම අපේ ණයකරුවන් සමග සාකච්ඡා කර තිබෙනවා.ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අය වැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදුවෙනවා. මෙම ණය නොගෙවා සිටියහොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මෙම ණය ආපසු ගෙවිය යුතුයි.මීට පෙර අය වැය සඳහා මුදල් නැත්නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවැති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි. ලබන වසර වන විට අපේ ආදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් ලබා ගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කයට අප ගමන් කළ යුතුයි.
ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යාමට නම් එම ආදායම් උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ, පාකිස්තානයේ තිබෙන තත්ත්වයට ඒමට අපට සිදුවුණා. පසුගිය සඳුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අපට කනගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදුවුණා. ඇතැම් අය දොස් කියනවා. එහෙත් අපි මෙය නොකළානම් මේ රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වෙනවා. මේ වසර ආරම්භයේ දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 07යි. අද වන විට ධන සියයට දශම 05ක් බවට පත් වී තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අපි ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.
නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මෙම තීරණය නිසා අපට යම් මුදලක් උපයාගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහන ලබාදීමට බැංකුවලට ලබාදිය හැකියි. එය සිදු නොකළා නම් එම කර්මාන්ත කඩා වැටෙනවා. කර්මාන්ත කරුවන් ලෙස ඔබත් අසීරු තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා රට වෙනුවෙන් මේ අසීරු තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වෙනවා. එහෙත් රට පිළිබඳ සිතා අප එම තීරණ ගත යුතුයි.
කෙසේ හෝ රට ගොඩනැගීමේ තීරණය සමග අපි එම ගමන යමු. මෙම වැඩපිළිවෙළ මඟින් සිඟමන් යදින රටක් වෙනුවට හොඳ රටක් ගොඩනගන්න පුළුවන්. මේ රටට යහපත් අනාගතයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අප ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරනවා. අද අසීරු වුවත් අපට තව වසර දෙක තුනකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. 2024 වන විට රටේ ආර්ථිකය මීටත් වඩා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්ෂාව බව සඳහන් කරමින් මම ඔබ සියලු දෙනාට සුබ පතනවා.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය වරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මිහු ද මීට එක්ව සිටියහ.
අංජුල මහික වීරරත්න
0 Comments