ranil-speaks

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වල දී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාළව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව පැවැසු ජනාධිපතිවරයා රට ආපස්සට ගෙනයාමේ වැඩපිළිවෙළකට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එසේම 2022 දෙසැම්බර් 22 වැනිදා සහ 2023 අප්‍රේල් 10 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවල දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම ද සිදුවිය.

දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධ හිඟය පියවීම, පාසල් ගුරු හිඟය පියවීම, මාර්ග පිළිසකර කිරීම පානීය ජල ගැටලුව විසඳීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගනු ලැබූ කඩිනම් පියවර සහ එහි ප්‍රගතිය නිලධාරීහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ. එමෙන්ම එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නිරාකරණය කර ගැනීම ද සිදු කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනීය මෙන්ම සුව පහසු සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ගෙන තිබෙන තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් තම ආයතන විෂය පථය පිළිබඳ මනා දැනුමක් පවත්වාගත යුතු බවත් එසේ නොමැති රාජ්‍ය ආයතන වලින් ජනතාවට සේවාවක් නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහත මහලයේ ස්ථාපිත කය තිබූ ‘මැදරට රෙදිපිළි වෙළඳසල' විවෘත කිරීමට ද ජනාධිපතිවරයාඑක්විය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, වී.එස්. රාධක්‍රිෂ්නන්, රාමේෂ්වරන් මරුද පාණ්ඩි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී. කේ. නන්දන මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු ද මීට එක්ව සිටියහ.


 අංජුල මහික වීරත්න