කෝප් කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවූ අවස්ථාවේ දී එම රැස්වීමට එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණිෂ්ක ඛණ්ඩාර මහතා සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඊයේ (16) පෙරවරුවේ ඇතිවිය.
විපක්ෂනායකවරයා ලෙස සහභාගිවීමට මෙයට පෙර අවසර නොලැබුණු කෝප් කමිටු රැස්වීමකට එම කමිටු සභාපතිවරයාගේ පුතා සහභාගි කරවා ගත්තේ කුමන නීතියක් යටතේ දැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනලෙසට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.මේ එහිදී ඇති වූ සංවාදයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
හේෂා, මරික්කාර් මන්ත්රීවරුන්පිටුපස තව පුද්ගලයෙක්
ඉන්නවා දැක්කා. කොහොමද මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටුවේ වාඩි වෙන්නේ.කෝප් එකේ වාඩිවෙන්න මට තහනම්. කෝප් එකට ආවම වාඩි වෙන්න පුළුවන් කතා කරන්න බැහැ කියලා මට කිව්වා.
මටවත් නැති අයිතියක් රංජිත් බණ්ඩාරගේ පුතාට ලැබුණේ කොහොමද? පාර්ලිමේන්තුවේ බලධාරීන් මේ ගැන ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? එයා පාර්ලිමේන්තුවේ නිත්‍ය නිලධාරීයෙක්ද?
කතානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා:-
පිටස්තර කෙනකුට කෝප් එකේ ඉඳගන්න අයිතියක් නැහැ. අපි එකේ පසුබිම හොයන්න ඕන. නමුත් එතුමා
කියලා තියෙනවලු ඔහු ප්රවෘත්ති ලේකම් කියලා.
සජිත් ප්‍රේමදාස මහතා:-
මටත් පුළුවන්ද මගේ ප්රවෘත්ති ලේකම් අරගෙන කෝප් එකට යන්න.
කතානායක:-ඔබතුමාට එදා ඒ අවස්ථාව නොදීම වැරැදියි.
ප්‍රේමදාස මහතා:-
කනගාටුව පළ කරල විතරක් වැඩක් නෑ. පියවරක් ගන්න ඕන.එතුමාට කෝප් එකේ සභාපති වෙන්න කිසිම අයිතියක් නැහැ. මට නැති අයිතියක් පාර්ලිමේන්තුවේ නැති කෙනෙකුට දෙන්න කොහොමද? මෙහෙම කොහොමද වෙන්නේ.
කතානායක:-
මේකෙ ඇත්ත නැත්ත හොයන්න පරීක්ෂණයක් පවත්වන්න වෙනවා. ප්‍රකාශයක් අරගෙන අපි තීන්දුවක් දෙන්නම්.
ප්‍රේමදාස මහතා:-
මේවා කතා කරනකොට ඔබතුමාගේ උගුර බැරැන්ඩි වෙනවා. ඔබතුමා මුකුත් දන්නෑ. උගුර බැරැන්ඩි වෙලා
නිසා මහ ලේකම්තුමිය මෙතුමාට ලොසිංජරයක් හරි දෙන්න.
(සභාවේ සිනා)
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා:- අද කෝප් සභාපති එක එක ආයතන එක්ක ඩීල් දාන පුද්ගලයකු බවට පත්වෙලා. ආයතනවල ප්‍රශ්න විසඳන තෝල්කයෙක් බවට පත්වෙලා. ඔහුගේ සභාපති ධූරය තාවකාලිකව නවත්වන්න. මේ දූෂිත නිලධාරියා අයින් කරන්න.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා :-
කොප් කමිටුවට මාධ්‍ය ගෙන්වන්නේ නැහැ කියලා තීන්දුවක් අරගෙන තියෙනවා. හෙට එතුමගේ
බිරිය ආවොත් මොකද වෙන්නේ. මේ හෑල්ලුවෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය. ක්‍රිකට් ආයතන විමර්ශනයේ දී රංජිත් බණ්ඩාර පැත්තකට තියන්න.
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-
නීති කඩ වෙනවා නම් ඔබතුමා ක්‍රියාමාර්ග ගන්න ඕන. ඔබතුමා මෙතන අසරණ වෙලා ඉන්න බව පේනවා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි දයාසිරි ජයසේකර මහතා:-
මෙහෙම අපිට එතුමත් එක්ක ගමනක් යන්න බැහැ. ක්‍රිකට් කියන කාරණයේ දී එතුමාගේ මූලිකත්වය පිළිගන්න අපි සූදානම් නැහැ.
ප්‍රධාන ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය ප්‍රසන්න
රණතුංග මහතා:
මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. සභාවේ නැති මන්ත්‍රීවරයකු ගැන කතා කිරීම සදාචාරාත්මක නැහැ. අපි මාතෘකාවට යමු. ඇමැතිතුමා යන්න බලාගෙන ඉන්නවා.
ප්‍රේමදාස මහතා:- ඔව්. ඔක්කොටම යන්න වේවි.
(සභාවේ සිනා)
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල
මහතා:
එක තමයි අපි එදා කොප් කමිටුව විපක්ෂයේ මන්ත්‍රීවරයකුට දෙන්න කියලා ඉල්ලුවේ. ඔබතුමා මුලින් දෙන්න පොරොන්දු වුණා. පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වුණා. පක්ෂ නායක රැස්වීමේ දී පොරොන්දු වුණා. අරගලය කාලේ බයට පොරොන්දු වුණා. අරගලයඉවර වුණා විතරයි බෑ කිව්වා. මොකක් ද කතානායකතුමා.
ප්‍රසන්න රණතුංග මහතා:-
අපි එතනදී කටයුතු කළේ ස්ථාවර නියෝග අනුව.
සජිත් ප්‍රේමදාස මහතා:-
කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස මීට පෙර කටයුතු කරලා තියෙනවා.මම ඊට අදාළ සියලු ලිපි ලේඛන හැන්සාඩ් ගත කරනවා. මෙතන බැඳියාවන් අතර ගැටුමක් ඇතිවෙනවා. ක්‍රිකට් ගැන කෝප් කමිටු විමර්ශනයට එතුමාට සහභාගි වෙන්න පුළුවන්ද?
මෙවැනි බැඳියාවන් අතර ගැටුමක් තියෙද්දී ඒ ගැන එළිදරව් නොකර කෝප් කමිටු සභාපතිවරයා හැටියට කටයුතු කිරීම බරපතළ වරදක්. ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහනකට උපදේශක සභාවක් පත් කරන්න කියන කාරණාව තියෙනවා. කවුද ඒ බිස්නස් මැනේජ්මන්ට් ආයතනයේ ප්‍රධාන නිලධාරියා. මහාචාර්ය රංජිත් බණ්ඩාර. ඒ ආයතනයේ සේවය කරමින් ඒකම ක්‍රිකට් ආයතනයේ උපදේශක සභාව ලෙස පත් කරන්නේ කොහොමද?. මේක බරපතළ ගැටලුවක් යැයි ද ඔහු කීවේය.
අංජුල මහික වීරරත්න
0 Comments