rda-strike

අධිවේගී මාර්ගවල කටයුතු පුද්ගලික සමාගමකට පැවරීම, සේවකයන් මේ වසර තුළදී ලබා නොගත් අසනීප නිවාඩු හිමිකම සඳහා ගෙවීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති එකමුතුව මේ වනවිට වර්ජනයක් දියත් කර තිබේ.



ඒ අනුව එම සේවකයින් අද (22) දිනයේ අධිවේගී මාර්ගවල රාජකාරී කටයුතුවලින් ඉවත්වී ඇති අතර මුදල් අයකැමියන්ද ඒ අතර සිටිති.

අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක්ව සිටින බවය.



මෙම වර්ජනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඔහු,

“අපි අද උදේ 7.00 සිට රාත්‍රී 7.00 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකර වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන. ප්‍රධාන ඉල්ලීම අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා.

ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා. මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව.” යනුවෙන් ය.

කෙසේවෙතත් මේ වනවිට අධිවේගී මාර්ග රාජකාරී සඳහා ආරක්ෂක අංශ යෙදවීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.