උතුරු ඉන්දියාවේ කඩාවැටුණු උමං මාර්ගයක සති දෙකකට ආසන්න කාලයක් සිරවී සිටි ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර කටයුතුවලදී ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.
නිලධාරීන් පවසන ආකාරයට , සුන්බුන් තුළ තිබූ ලෝහමය වස්තුවක් නිසා විදුම් යන්ත්‍රයේ ඇතැම් තල වලට හානි සිදුවී තිබීම ප්‍රමාදයට හේතු වී තිබේ.
නවදිල්ලිය සහ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ අගනුවර වන ඩෙහ්රාඩුන් වෙතින් විශේෂ කැපුම් යන්ත්‍ර සකස් කර ඇති අතර කැනීම් නැවත ආරම්භ කිරීම සඳහා ලෝහමය බාධාව ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රාන්ත රජයේ ප්‍රකාශකයෙකු වන කිර්ති පන්වාර් පැවසීය.
බ්‍රහස්පතින්දා උදෑසන වන විට උමග අසල කලාපයේ ගිලන්රථ සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇති අතර, මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ අවසානයට පැමිණ ඇත.
උත්තරකාන්ද් ප්‍රෙද්ශයේ ඉදිවෙමින් පැවති මෙම උමගෙහි සිරවී සිටින පිරිස මුදවා ගැනීම සදහා, මීටර් 57 (අඩි 187)ක කලාපයක් පුරා පවතින පස්, කොන්ක්‍රීට් සහ සුන්බුන් ඉවත් කිරීමට ඉංජිනේරුවන් දින ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වෙමින් සිටිති.
මුදවා ගැනීමේ කටයුතු ආරම්භයේ දී වේගවත් ස්වරූපයක් ගත් අතර, සිරවී සිටින පුද්ගලයන් වෙත ලගා වීමට මීටර් 12 ක් පමණ තිබියදී, මෙම ලෝහමය බාධකය හමු වී ඇත. එම නිසා මුදවා ගැනීමේ කටයුතු යම්තාක් දුරකට මන්ධගාමී වී ඇතැයි නිලධාරින් පවසයි.
ජ්‍යෙෂ්ඨ ගලවාගැනීමේ කණ්ඩායමේ සාමාජික හර්පාල් සිං පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා උදෑසන වන විට යම් ප්‍රගතියක් ලබා ගත හැකි බවට ඔවුන් විශ්වාස කරන බවයි. නමුත් රජය අනතුරු ඇඟවූයේ “තාක්ෂණික දෝෂ, අභියෝගාත්මක හිමාලය භූමි ප්‍රදේශය සහ අනපේක්ෂිත හදිසි අවස්ථා හේතුවෙන්, ඕනෑම අවස්ථාවක මෙම තත්වය වෙනස් වීමට ඉඩ ඇති බවටයි.
උත්තරාකාන්ද් මහ ඇමති පුෂ්කර් සිං ධාමි පැවසුවේ , තමා බදාදා දිනයේ දී උමග පවතින ස්ථානයට පැමිණි බවත්, මුදවා ගැනීමේ වැඩ කටයුතු “තීරණාත්මක පසුබිමක” පවතින බවත්ය.
අධික සුන්බුන් ප්‍රමාණයක් පැවතීම හා බර විදුම් යන්ත්‍ර නිතර නිතර බිද වැටීම හේතුවෙන් මුදාගැනීමේ ප්රයත්නයන් යම්තාක් දුරකට අඩාල වී ඇත.
ප්‍රධාන උමං දොරටුව හරහා ගමන් කරන මාර්ගය භාවිතා කිරීමට ගැටළු ඇතිවුවහොත් , කිලෝමීටර් භාගයක් (සැතපුම් හතරෙන් පංගුවකට වඩා වැඩි) දිගකින් යුත් නිම නොකළ උමඟේ අනෙක් කෙළවරේ සිට පිපිරවීම සහ කැණීම් සිදු කිරීම ආරම්භ කල යුතු බව මුදවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
පළමු වරට කම්කරුවන් නිරුපද්‍රිතව සිටිනු දක්නට ලැබුණේ අඟහරුවාදා දිනයේදීය. එය සනාථ කර ගන්නා ලද්දේ මුදවා ගැනීමේ නිලධාරීන් විසින් වාතය, ආහාර, ජලය සහ විදුලිය ලබා දෙන තුනී නලයක් හරහා යවන ලද එන්ඩොස්කොපික් කැමරාවක් පරීක්ෂා කිරීමෙන්ය.
උමං ඇතුළත ප්‍රදේශය මීටර් 8.5 ක් උස සහ කිලෝමීටර් දෙකක් පමණ දිගකින් යුක්ත වන නිසා , සිරවී සිටියද ඔවුන්ට ඕනෑ තරම් ඉඩ ඇති බව නිලධාරීන් ප්‍රකාශ කරයි.
මෙම උමග රටේ වඩාත් ජනප්‍රිය හින්දු ස්ථාන අතර ගමන් කිරීමට මෙන්ම ප්‍රතිවාදී චීනයට මායිම්ව ඇති උපායමාර්ගික ප්‍රදේශවලට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ යටිතල පහසුකම් ව්‍යාපෘතියේ කොටසකි.
එහෙත්, නායයෑම්වලට ගොදුරු වන උත්තරාකාන්ද්හි මෙම ඉදිකිරීමෙන් විය හැකි බලපෑම පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
0 Comments