ලබාදුන් බිම්මල් ආහාරයට ගැනීමෙන් පසු විෂ ශරීරගත වී තිදෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජුලි මාසයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලියොන්ගාතා නගරයේ දිවා ආහාරය සඳහා සහභාගී වීමෙන් අනතුරුව මෙකී තිදෙනා රෝගාතුර වී ඇත. සිව්වැනි පුද්ගලයාද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.
එම දිවා ආහාරය සැපයූ කාන්තාව වන 49 හැවිරිදි ,එරින් පැටර්සන් බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන ඇත.නමුත්  ඇය පවසන්නේ තමන් නිර්දෝෂී බවයි.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාන්තාව රහස් පරීක්ෂකයින් විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කර ඇයගේ නිවසේ සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කර ඇති බවයි.



මිනීමැරුම් සංචිත පොලිස් පරීක්ෂක ඩීන් තෝමස් මාධ්‍ය හමුවකදී නඩුවේ සංකීර්ණත්වය අවධාරණය කළ අතර, මෙය  විශාල  ඛේදවාචකයක් ලෙස විස්තර කළේය.

ඔහු සදහන් කල ආකාරයට මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද මහජනතාවගේ අවධානය යොමු කරවන ප්‍රවෘතියක් බව සදහන් කළේය.

ඇයගේ අමුත්තන් සදහා එදින ආහාර පිළියෙළ කිරීම සිදුවූ අතර පැටර්සන්ගේ  හිටපු සැමියාගේ දෙමාපියන් වන ගේල් සහ ඩොන් පැටර්සන් - ගේල් පැටර්සන්ගේ සහෝදරිය හීදර් විල්කින්සන් සහ ඇගේ මස්සිනා වන ඉයන් විල්කින්සන් මේ අතර විය.

දරුණු ලෙස මෙම සිව්දෙනා අසනීප තත්ත්වයක පෙලීම හේතුවෙන්  ජූලි 30 වන දින රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

දින කිහිපයක් ඇතුළත 70 හැවිරිදි පැටර්සන් යුවළ සහ 66 හැවිරිදි විල්කින්සන් මහත්මිය මිය ගියහ.

68 හැවිරිදි විල්කින්සන් මහතා මාස දෙකක ප්‍රතිකාර වලින් පසුව සුවය ලැබීය.
එරින් පැටර්සන් පවසා ඇත්තේ ආහාර ගැනීමෙන් පසු බඩේ වේදනාව නිසා ඇයව රෝහලට ගෙන ගිය බවත්, අක්මාව හානි වීමෙන් ආරක්ෂා වීමට සේලයින් බිංදු දමා ඖෂධ ලබා දුන් බවත්ය.

සුපිරි වෙළඳසැලකින් මිලදී ගත්  හතු සහ මාස කිහිපයකට පෙර ආසියානු සිල්ලර වෙළඳසැලකින් මිලදී ගත් වියළි හතු මිශ්‍රණයක් භාවිතා කරමින් ඇය බීෆ් වෙලින්ටන් පයි එකක් ඔවුන්ට සකසා  ලබා දුන් බව  පවසා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය විශාල  පීඩනයකට පත්ව ඇති අතර අවසන් වශයෙන් ඇය  කියා සිටියේ "මම ආදරය කළ මේ මිනිසුන්ට රිදවීමට මට කිසිම හේතුවක් නැති බව මට නැවත කියන්නට අවශ්‍යයි."යනුවෙන් ය,