කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියේ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකළැයි කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා පෙරේදා (11) නියෝග කළේය.
මෙම සැකකරු එම දරුවාගේ පන්තියභාර ගුරුවරයා ලෙස පෙනී සිටිමින් මෙම ඇමතුම ලබාගෙන ඇතැයිද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රන්දෝලියාගල, 20 කණුව, මාපාකඩවැව මහියංගණය පදිංචි ගහේවාලාගේ ආනන්ද අමරසිංහ රාජපක්ෂ නමැත්තාය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කඳානේ පදිංචි නිලන්ත සංජීව අඹගහවත්තගේ නමැති ප්‍රවර්ධන කළමනාකරුවකු විසිනි.
ඉකුත් 27 වැනිදා උදේ 8.40 ට පමණ තම බිරිඳගේ ජංගම දුරකථනයට පුද්ගලයකු ඇමතුමක් ගනිමින් තමන්ගේ වැඩිමහල් පුත්‍රයා අසනීපව රෝහල් ගත කළ බවත් හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බැවින් රුපියල් එක්ලක්ෂ පනස් දාහක මුදලක් ඉක්මනින් බැංකු ගත කරන ලෙසට දැනුම් දී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පසුව පැමිණිලිකරු ඔහුගේ කාර්යාල මිතුරකු ද සමග රෝහල වෙත යමින් සිටියදී පැමිණිලිකරුගේ මිත්‍රයා අදාළ රෝහලට දුරකථන ඇමතුමක් දී දරුවකු සම්බන්ධයෙන් විමසීමක් කර තිබූ බවත් එහිදී එවන් දරුවකු ඇතුළත් නොකළ බවට රෝහල සඳහන් කර ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව පැමිණිලිකරු විදුහලට කතා කර දරුවා පිළිබඳ විමසීමේදී දරුවා විදුහලේ නිරෝගීව සිටින බවට දැනගෙන ඇති බවත් පසුව පොලිසියට පැමිණිල්ලක් කළ බවටත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.
- නිමන්ති රණසිංහ
0 Comments