rupavahini-slbc-company

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත්කරන බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී පැවැසීය.

රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28ක පමණ පාඩුවක්ද ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 46ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.



මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බවට කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

පීඩාවට පත් වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය වලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු එම පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.



ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා (23) රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
  සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න