samanala-wewa-doser

සමනලවැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීමට කිලෝමීටර් හතක් දුරට වනාන්තරයෙන් අක්කර 20කට වැඩි ගස් කපා දමා ඩෝසර් යොදාගෙන එළිපෙහෙළි කරමින් පාරිසරික හානියක් සිදුකරන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිංස්කරණ ව්‍යාපාරය වෙනුවන් පරිසරවේදී සජීව චාමීකර මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

”බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළමුල්ල, බලිඳුවැව යන ගම්මානවලට වනඅලි පිවිසීම වැළැක්වීමට යෝජිත විදුලිවැට මාර්ගය ඉදිකිරීමට මෙලෙස මඟ වනාන්තරය එළි පෙහෙළි කරනවා.සමනලවැව ජලාශයට අයත් වේල්ලේ කූඹල්ගම සිට කිලෝමීටර් 15ක් දුරට විදුලි වැට ඉදිකිරීමට යෝජිතව පවතිනවා. වනාන්තරය එළිකිරීමේ දී හානි අවම වන ක්‍රමවේදයක් අනුගමනය කර නැහැ.

එසේම මෙම වනාන්තර එළිපෙහෙළි කිරීමට අනුමැතියක් ලබා ගෙන නැහැ.උඩවලව ජාතික උද්‍යානයේ සිටින වනඅලි මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට දුවිලි ඇල්ල දක්වා සංක්‍රමණය වීමේදී ඉහත ගම්මාන වලට අලි ඇතුන් ඇතුළුවීම වැළැක්වීමට මෙම අලිවැට ඉදි කරනවා. එහෙත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලුගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස දුවිලිඇල්ල දක්වා ගමන් කරන මෙම අලි ඇතුන් ගම්මානවලට කඩාවැදීම වැළැක්වීමට ගම්මාන වටා කුඩා පරිමාන විදුලි වැටක් ඉදිකිරීමෙන් හැකියි. එසේ තිබියදී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විෂයභාර නිලධාරීන්ගේ සැලසුමක්, අධීක්‍ෂණයක් හා මගපෙන්වීමක් නොමැතිවයි.



මෙය වනජීවී හා වනසංරක්‍ෂණ මෙන්ම නව වාරිමාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ඇගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන රංජිත් පුෂ්පකුමාර යන අය එක්ව සිදු කරනවා.2006 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්‍ෂණ ආඥා පනතේ 20වන වගන්තිය, එහි (2) උපවගන්තිය, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23වන වගන්තියට අදාළව ප්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට ද පටහැණි ක්‍රියාවක්. මෙම අණපනත් උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වුවත් ඇමතිවරියට හෝ පුද්ගලික ලේකම්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නැහැ.” යැයිද පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට වනජීවී හා වන සංරක්‍ෂණ මෙන්ම නව වාරිමාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇමතිමට උත්සාහ කළ ද නොහැකි විය. මේ කැලෑ කැපීමට නිසි අනුමැතියක් දී ඇද්ද යන්න දැනගැනීමට වන සංරක්‍ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ද උත්සාහ කළ මුත් එය ව්‍යර්ථ විය.

අජිත්ලාල්  ශාන්තඋදය