sameera-madhu-kindelpitiya-no-more

ටෙලි නාට්‍ය රාශියකට හා චිත්‍රපට ගණනාවකට වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස සම්බන්ධවූ  ප්‍රවීණ අංගරචනා ශිල්පී සමීර මධූ කිඳෙල්පිටිය තරුණ මහතා ජීවිතයෙන් සමුගත්තේය. වකුගඩු සම්බන්ධ සැත්කමකට මුහුණ දීමෙන් දින කිහිපයකට පසු ඔහු අනපේක්ෂිත ලෙස හදිසියේ සමුගැනීම කලා හිතවතුන්ට කම්පනයක් ඇති කර තිබේ.
ඔහු මෙරට කලා ශිල්පීන් රැසක් නිර්මාණ සඳහා හැඩගන්වා සම්මාන ගණනාවක්ද ලබා සිටි තිරය පසුපස අගනා මෙහෙයක නිරතවූ කලා ශිල්පියෙකු විය.ඔහුගේ සේවය නොලද රංගන ශිල්පී කලාකරුවෙකු නැති තරම් විය. රක්වාන ගම් පලාත් කොටගත් සමීර වාසය කළේ බණ්ඩාරගම ප්‍රදේශයේය.
රෝද හතරෙ මනමාලයා ටෙලිනාට්‍යය වෙනුවෙන්  හොඳම අංගරචනා ශිල්පී ලෙස සම්මානයට ලක්වූ සමීර ඊට අමතරව තවත් ජනාධිපති සම්මාන, සුමති සම්මාන, රයිගම් සම්මාන ඇතුළු සම්මාන ගණනාවක හිමිකරු වේ
ඔහු දායකත්වය සැපයූ ටෙලි නිර්මාණ අතර
පතිනිවරා, පුංචි වීරයෝ, වස්සානේ හිරු ඇවිදින්, අහස් වියන, ගිනි පුපුරු, පාට වීදුරු, ආදරණීය සුදු නංගී
සඳ දිය අරණ, මැණික් මාළිඟා, මගේ කවිය මට දෙන්න, සඳදිය සිඳුම, දඟ මල්ල, දිව්‍යා, වීදුරු මල්, දෙහදක් ආදරෙන්
රාත්‍රිය වී, මුතු කිරිල්ලී, අමන්දා, පවන සේ ඇවිදින්, සිහින පියාපත්, බොඳ මීදුම්, සිහිනයකි ජීවිතේ
චායා, රන්තරු , සුදු අඟුරු, වෙස්, හේලි, මායාරාජිණී, ඉන්ටර්නැෂනල් , දාම්, කියාදෙන්න ආදරේ තරම් හා සිදාදියේ සමණලියෝ වේ.

ඔහු සම්බන්ධවූ චිත්‍රපට අතර
සමාරා,  Feel my love, කුස පබා, මහරජ අජාසත් , අනගාරික ධර්මපාල , පත්තිනි
තානාපතිලාගෙ ගෙදර, සරිගම, මංගල තෑග්ග 2, භවාත්මා, යුගාත්‍රා , නිලූ මං ආදරෙයි වෙයි.

අංග රචනා ශිල්පී සමීර මධූ කිඳෙල්පිටියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ (13 ) බණ්ඩාරගමදී සිදුවිය.