sanath-nishantha-ban-parliament

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත තිබූ ලියකියවිලි කිහිපයක් සභා ගර්භයේදී පෙරේදා (21) උදුරා ගැනීමේ සිද්ධිය ඇතුළු සභාවට නොගැළපෙන ක්‍රියා කිහිපයක් සැලකිල්ලට ගෙන ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති දෙකකට තහනම් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) නිවේදනය කළේය.

සභාවේ පෙරේදා සිදුවූ බරපතළ විනය විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකින බව පැවැසූ කතානායකවරයා එම සිද්ධිය වැඩිදුර විමර්ශන සඳහා ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුවට යොමු කරන බවද ප්‍රකාශ කළේය.


 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති දෙකක් අත්හිටුවීමට නියෝග කරන බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කතානායකට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
එය  සිදු නොවිය යුතු සිද්ධියක් බව තමා විශ්වාස කරන්නේ යැයිද ඔහු කියා සිටින අතරම
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්  වීඩියෝගත කිරීම නතර කරන්නැයි   කතානායකවරයා කිහිප වරක්ම දැනුම් දුන්නද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඊට අනුගත නොවීම හේතුවෙන්   මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බවත් 

එම සිද්ධියෙන් පසුව විපක්ෂ නායකවරයා තමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජන  කළ බවත් කියා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඬුවම් කිරීම තමාගේ වරප්‍රසාද උල්ලංඝනයවීමක් බවත් විපක්ෂ නායකවරයා සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කර ඇති හෙයින් එම දෙදෙනා සම්බන්ධයෙන්ද සුදුසු දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් සනත් නිශාන්ත එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.