school-love-bus-fight

සිසුවියක යාළු කර දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාසල නිම වී නිවෙස බලා යාමට බස් රථයේ සිටි සිසුවකුට පහරදී තුවාල සිදු කළ බව කියන සිසුන් තිදෙනකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු ඉකුත් 24 වැනිදා සවස කිරින්ද බස් නැවැතුම්පොළේදී අත්අඩංගුවට ගත් බව හක්මන පොලීසිය පවසයි.



කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ ජනප්‍රිය ප්‍රධාන පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු පාසල් ගොස් නිවෙසට යාමට ඉකුත් සිකුරාදා දහවල් බස් රථයේ සිටියදී බෙලි අත්ත සහ වීරකැටිය ප්‍රදේශවල ඇති තවත් ජනප්‍රිය පාසල් තුනක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන් තිදෙනකු ත්‍රිරෝද රථ රියැදුරකු සමග පැමිණ කිරින්ද බස් නැවැතුම්පොළේ නතර කර තිබූ බස් රථයකදී පහරදීමක් සිදු කිරීමෙන් සිසුවකු තුවාල ලබා ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට මෙලෙස ඇතුළත් කර ඇතැයි හක්මන පොලීසිය පවසයි. පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති සිසුවා නිවෙසට යාමට බස් රථයේ සිටියදී තම පාසලේ සිසුවියක ද එම බස් රථයේ සිටි බවත්, පහරදීම සිදු කළ සිසුන් පැමිණ එම සිසුවිය කවුදැයි විමසා ඇති බවත් පොලීසිය පවසයි.



ඇය තමාගේ කවුරුත් නොවන බව පැවැසීමෙන් පසුව, ඇය යාළු කර දෙන ලෙස සැකකරුවන් ඉල්ලා සිටි බවත්, එය ප්‍රතික්ෂේප කළ නිසා තමන්ට සහ ඒ අසල සිටි තවත් සිසුවකුට පහරදීමක් සිදු කළ බවත්, රෝහල්ගත කර ඇති සිසුවා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය වැඩිදුරටත් පවසයි. පාසල් සිසුන් දෙදෙනකුට පහරදීමක් සිදු කරන බවට කිරින්ද නගරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සැලවීමත් සමග එම ස්ථානයට ගොස් සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
යසන්ත ආරියසේන