school-popular-fraud

අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ වාර්තාවකින් හෙළිවූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කොළඹ ගුරුමැදුරේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අද (26) ප්‍රකාශ කළේය.



2020 ජනවාරි 1 වැනිදා සිට 2022 මැයි 31 දින දක්වා කාලය තුළදී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණන වාර්තාවෙන් එම කරුණු එළිවන බවත්, විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන ලේකම්වරයා දරුවන් ඇතුළත් කිරීම සඳහා ලිපි 3,308 නිකුත් කර ඇති බවත්,
එම ලිපිවලින් 72% ක් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර ඇති බවත්, ළමුන් ඇතුළත් කිරීමේ ලිපිය නිකුත් කර ඇත්තේ දෙමාපියන්ට නොව ඉල්ලුම්කරුටද බවත්, එහිදී සඳහන් කෙරිණි.



අතරමැද පන්තිවලට ලිපි හරහා සිසුන් දහස් ගණන් ඇතුළත් කර ඇති අතර, එයින් කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් විශේෂත්වයක් ගෙන ඇති බවත්, අසාධාරණ ලක්වූ දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.