සෙවනගල ග්‍රාමීය රෝහලේ ස්ථානභාර ප්‍රධාන වෛද්‍යවරයා වන ගෝනපීනුවල විතානගේ චාමින්ද
විතානගේ මහතාගේ නිල නිවසේ ජලටැංකියට වස මිශ්‍රකළ එම රෝහලේ සාත්තු සේවකයෙකුට මිනීමැරීමේ
චෝදනාව යටතේ වසර 10 කින් ගෙවීයන පරිදි වසර 20 සිරදඬුවම් සහ අගතියට පත් නිල නිවසේ සිටි
සිව්දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් පන්දහස බැගින් රුපියල් විසිදහසක දඩයක් ඉකුත් (21) වෙනිදා
පැවති නඩු විභාගයේදී ඇඹිලිපිටිය පළාත් බද මහඅධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින්
නියමකරනු ලැබුවේය.
වසර 07 දීර්ඝ නඩුවිභාගයකින් පසුව මෙසේ සිරදඬුවම් නියමවූයේ සෙවනගල පදිංචි එවකට සෙවනගල
රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස සේවයකළ නම්මුනිආරච්චිගේ නිමල් රංජිත් නැමති අයටය.
2012/02/03 වෙනි දින සෙවනගල ග්‍රාමීය රෝහලේ ස්ථානභාර ප්‍රධාන වෛද්‍යවරයා සහ ඔහුගේ
බිරිඳ සහ දරුවන් දෙදෙනා පදිංචි නිල නිවසේ ජලටැංකියට මෙම සාත්තු සේවකයා විසින් කෘමිනාශක වස
මිශ්‍රකර තිබේ.
වෛද්‍යවරයා විසින් සෙවනගල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම සාත්තුසේවකයා සහ එම රෝහලේ
තවත් වෛද්‍යවරයෙකු සෙවනගල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවටගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්
අධිකරණය වෙත ඉදිරිපත්කරන ලදුව නීතිපතිවරයා විසින් සැකකාර වෛද්‍යවරයා නඩුවෙන් නිදහස්කර තිබිණි.
රජයේ රස පරීක්ෂක කේ.ඒ.පී.බී.පෙරේරා මහතා විසින් ජලටැංකියේ එච්.සී.පී.(ii මීතයිල් iv
ක්ලෝරෝෆිනොක්සි ඇසිඩ්) නැමති වල්නාශකය අඩංගුබවට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කර ඇත.නඩු
විභාගයේදී කොළඹ වෛද්‍ය පීඨයේ විෂවේදී අධිකරණ වෛද්‍ය ජේෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු
මහතාද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.
වෛද්‍ය ජී.පී.චාමින්ද විතානගේ මහතාටත් ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ වන සුලෝචනා
වන්නිආරච්චි,බාලවයස්කාර දරුවන් වන සේමික විතාන සහ හංසිදු විතාන යන සිව්දෙනාත් ජීවත්ව සිටි
නිලනිවසේ පානයකරන ජලටැංකියේ ජලයට වස මිශ්‍රකර මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව සැකයකින්
තොරව ඔප්පුවී ඇති බැවින් මෙලෙස දඬුවම් නියම කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා සහ සෙවනගල පොලීසියේ පො.සැ 41742
ඇතුගල යන අය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නිරෝෂන් සෙනරත් මහතා කරුණු දැක්වීය.
0 Comments