shammi-silva-cric-info

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නුදුරු අනාගතය කුමක් වේවිද? යන ගැටලුව මතුකරමින් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා කළ ප්‍රකාශ දෙකක් නිවැරදිම තත්වය නොවන බවට ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය විමර්ශනාත්මක වාර්තාවකින් හෙලි කර තිබේ.
දැනට පවතින තහනම නිසා ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය රටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඊයේ අනතුරු අඟවන ලද නමුත් ක්‍රික් ඉන්ෆො කියන්නේ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති අතරම එම තරඟාවලියේ සත්කාරකත්වය පිළිබඳව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පමණක් සාකච්ඡා කරනු ඇති බවයි.



දෙවැන්න නම් ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් ජූලි මාසයේදී කරන්නට යද්දී තමා බේරාගත් බව ෂම්මි ඊයේ කීයූ කරුණු සාවද්‍ය බව ක්‍රික් ඉන්ෆො කියයි.
“ක්වාජා ආවේ මැයි 10. මම පසුව ICC රැස්වීමකට ගියා ජූලි 10 සිට 14 දක්වා. ඔවුන්ගේ වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්පූර්ණයෙන්ම දේශපාලන අපයෝජනයට ලක් වෙනවා කියලා තියනවා. ඊට පස්සේ ඔවුන් මට කිව්වා අපිට විකල්ප කිහිපයක් තියෙනවා: එක්කෝ අපි ශ්‍රී ලංකාව තහනම් කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නවත්වන්න, නැත්නම් ශ්‍රී ලංකාවට මුදල් නවත්වන්න ක්‍රියා කරනව කිව්වා, මම ඔවුන්ට කිව්වා ඒක කරන්න එපා කියලා. ඒ නිසා නැවතුනේ. ඇත්තටම අපි ජූලි 10 සහ 14 අතර තහනමකට ලක් වෙන්නයි හිටියෙ“ ෂම්මි කීය.



නමුත් ක්‍රික් ඉන්ෆො කියන්නේ  ICC ය  ජූලි මාසයේදී SLC අත්හිටුවීමක් කරන්නට කිසිදු තීරණයක නොසිටි බවයි.
cricinfo සතුව ඇති තොරතුරුවලට අනුව, 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ICC වෙත පැමිණිලි කිරීමෙන් පසුව ICC උප සභාපති ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකාවට සිදුවිය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව
කරුණු සෙවීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නමුත් එම අවස්ථාවේ දී සෘජු මැදිහත්වීම් පිළිබඳ මූලික සාක්ෂියක් ICC විසින් සොයා නොගත් බව වාර්තා කර තිබේ.‍

අයිසීසීයට දන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් කරන ලද්දේද ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමක් නිසා බව මීට ඉහත ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය හෙලි කර තිබූ අතර ඊයේ මාධ්‍ය හමුවේදී ෂම්මි කියා සිටියේ තමන්ට එතරම් බලයක් අයිසීසීය තුළ නැති බවත් තමා ‘පොරක්‘ නොවන බවත්ය.