shammi-silva-speaks

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ඉන්දියාවේ අහමදාබාද්හිදී පැවති අයිසීසී තීරණාත්මක සාකච්ඡාව සඳහා සහභාගී වීමෙන් අනතුරුව දිවයිනට පැමිණි ෂම්මි සිල්වා සිය නිලධාරී කන්ඩායම සමග බදාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.
එහිදී ඔහු මේදක්වා කියූ කරුණුම නැවත නැවත පුනරුච්ඡාරණය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වූයේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසා බවට ඔහුගේ මතය යළි තහවුරු කළේය.
පනවා ඇති තහනම ඉවත්කිරීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව අවලංගු කිරීම අනිවාර්ය බවද ඔහු කීය.
 ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට 20 ක් ඉල්ලා සිටීම මෙම තහනමට ප්‍රධාන හේතුවක් වූ බවද එය කරුණාවෙන් ඉල්ලා නොලද පසුව දාමරිකව හැසිරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ශ්‍රී ලංකාවේ හිටපු ලෙජන්ඩ් යයි සිතා සිටින නාකි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගකිව යුතු බවත් ශම්මි සිල්වා කීය.


 “විනාඩි 45ක් විතර මේ ප්‍රශ්නය ගැන ඔවුන් කථාකළා. ඔවුන්ගෙන් එය ගලවගන්න මං උත්සාහ කළා. අපිට ගහන්න දෙන්න නැත්තම් අපි සම්පූර්ණයෙන් වැටෙනවා කියලා මම කිව්වා. මේ ඇමති නිසා මීට ඉහත වෙනත් ක්‍රීඩා දෙකක් තහනම් වුණා.. මේකටත් එහෙම කරලා කියල ඒ අය පිළිගත්තා.මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා තමයි ICCය ඒ රැස්වීමේදී කිව්වේ.
අපි අවුරුද්දක් තිස්සේ ලියුම් යැව්වා. අපි බැඳිලා ඉන්නේ ICC එකට විතරයි.මම ඇරෙන්න මුළු ICC එකම තීරණය කළා අපිව තහනම් කරන්න.මේක ලංකාවට ලොකු පාඩුවක්.
මුළු ක්‍රිකට් එකම කන්න යන එක නාකි වෙච්ච ලෙජන්ඩ් කෙනෙක් ඉන්නවා.මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ.. හැමෝම දන්නවා නේ.
දැන් අපි ගාව ඩොලර් මිලියන 30ක් තියෙනවා. අපි දැන් මේක හොරකම් කරලද?. මේක බලාගෙන මෙතනට එන්න ඉන්න හොරු සෙට් එකක් ඉන්නවා. අතීතයේත් ඒක වුණා.


අපි හොරු කියලා ඔප්පු වුණොත් අපි යන්න ලෑස්තියි.
ICC පිළිගන්නේ මාව සහ අපේ බෝඩ් එක කියලත් ඒ අය තීරණය කළා.
ක්‍රිකට් තහනම් කළාත් අපිව තහනම් වෙලා නැහැ. අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. තහනම පනවා තිබුණත් මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනවා.
අපේ 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය සහ ආසියානු කුසලානය යන තරගාවලි දෙකටම ක්‍රීඩා කරනවා.

මට දිගටම එල්ලිල ඉන්න ඕන නැහැ. විපක්ෂ නායක හිතනවාද දන්නේ නැහැ මම ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා. එයාගෙන් අහන්න මොකක්ද ප්‍රශ්නය කියලා.
මින් ඉදිරි වාරය සඳහා මං ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කරන්නැහැ.
ඒ අනුව ඉදිරියේදී මෙම ධුරය භාරගන්නා කණ්ඩායම තීරණය කරන්නේ ක්‍රීඩා සමාජ සාමාජිකයින් .දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.ඕන කෙනෙක් ඉස්සරහ දොරෙන් එන්න. පිටිපස්සේ දොරෙන් එන්න බැහැ.”