shaster-dna

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාස්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (31) ප්‍රකාශ කළාය.

ඒ අනුව එම අපරාධය සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   අධ්‍යක්ෂවරයාටනියෝග කළාය. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ද උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ආරම්භ කරන ලෙසට ද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කෙරිණි.දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව ද මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වු පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු වාර්තා ද සැලකිල්ලට ගනිමින් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබූ මෙම තීන්දුවේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.



“අධිකරණයේ නිරීක්ෂණ සටහන් ද ඉදිරිපත් වූ සාක්ෂි ද, මුල් අවස්ථාවේදී ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද අධිකරණයෙන් පත් කළ පංච පුද්ගල වෝහාරික විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර එකගත්වයෙන් නිකුත් කරන ලද වාර්තාව (හතර එක ලෙස තීරණය කරන ලද බහුතර මතය) සැලකිල්ලට ගනු ලැබුවා. මෙම මරණයට දෘශ්‍යමාන හේතුව මරණකරුගේ ගෙල සහ මුහුණ මත පීඩනයක් යෙදීම බව තීරණය කරමි. ඉහත කරුණු අනුව අපරාධයක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් ඇති වේ. ඒ අනුව වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරමි. ඥාතීන්ට මරණ සහතිකය ඉදිරිපත් කරමි”. පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් අධිකරණයට සිය ස්තූතිය පළ කළේය.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත, සහකාර පොලිස් අධිකාරි කළුආරච්චි, ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ,

උපපොලිස් පරීක්ෂක මෙන්ඩිස් යන නිලධාරීහු පෙනී සිටියහ. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විද්වත් කමිටුවක් අධිකරණය විසින් පත් කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 27 වැනිදාය.මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ලෙස රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිවසුබ්‍රම නියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී යන අය කටයුතු කළහ.

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් පාස්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ දී ඔහුගේම මෝටර් රථයේ දෑත් බැඳ ගෙල සිරකර සිටියදී සොයා ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදාය. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදින රාත්‍රියේ මිය ගියේය. දිනේෂ් ෂාස්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ඉකුත් මැයි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එම දේහය ගොඩගැනීම සිදුකෙරුණේ ඉකුත් මස 25 වැනිදා ය. මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණ ලබන මාර්තු මස 20 වැනිදා තෙක් කල් තැබිණි.
  නිමන්ති රණසිංහ