බත්තරමුල්ල ජයන්ති පුර දෙමහල් නිවසක ඇතිවූ ගින්නකින් සිංගප්පූරු ජාතිකයකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බාරි සේ කින් සෙන්ග් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
දෙමහල් නිවසේ කුලී පදනම මත සිටිමින් වායු සමීකරණ යන්ත්‍ර විදේශ රටවලින් ගෙන්වා බෙදාහරින ආයතනයක් ඔහු පවත්වාගෙන ගොස් ඇති අතර උඩුමහලේ කාමරයක ඇති වූ ගින්න නාන කාමරයෙන් ජලය රැගෙන නිවීම සඳහා උත්සාහ කිරීමේදී ඔහු ගින්නට මැදිව ඇතැයි පොලිසිය සැක කරයි.
ගින්න හට ගන්නවා දුටු ඒ ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා නිලධාරීන් හා එම ස්ථානයට පැමිණි තලංගම පොලිසියේ නිලධාරින්,
ගිනි නිවන හමුදා නිලධාරීන් ආරක්ෂිතව වහා ක්‍රියාත්මකව ගින්නට මැදිව සිටි සිංගප්පූරු ජාතිකයා බේරා ගෙන 1990 සුවසැරිය ගිලන් රථයෙන් කොළඹ ජාතික රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ බිරිඳ වන 57 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාව සහ 67 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව ද එම නිවසේ සිටියද ඔවුනට අනතුරක් සිදුවී නැතැයි පොලිසිය පවසයි.
ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
0 Comments